යොහන් 13:5-11
යොහන් 13:5-11 SCV
ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක. උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවා දැ?” යි ඔහු ඇසුවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක. එවිට පේතෘස්, “කවදාවත් ඔබ මගේ පාද සෝදන්නේ නෑ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නො සේදුවොත්, මා සමඟ පංගුකාරකමක් ඔබට නැතැ” යි කී සේක. “මගේ පා පමණක් නො වෙයි ස්වාමිනි, මගේ අත් හා හිසත් සෝදන්නැ” යි සීමොන් පේතෘස් කීවේ ය. යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක් ම නො වේ” යි කී සේක. මන්ද තමා පාවා දෙන්නා කවුරුදැයි උන්වහන්සේ දැන සිටි සේක. “ඔබ හැම කෙනෙක් ම පවිත්‍ර නැතැ” යි උන්වහන්සේ කීවේ එබැවිනි.





