යෙරමියා 8:1-13
යෙරමියා 8:1-13 SCV
“ ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: එකල්හි, යූදාහි රජුන්ගේ ඇටකටු ද එහි අධිපතීන්ගේ ඇටකටු ද පූජකයින්ගේ ඇටකටු හා දිවැසිවරුන්ගේ ඇටකටු ද යෙරුසලමේ පදිංචිකරුවන්ගේ ඇටකටු ද ඔවුන්ගේ මිනී වළවලින් පිටතට ගෙනෙනු ලබනු ඇත. ඔවුන් ප්‍රේම කළ, සේවය කළ, ඔවුන් අනුගමන කළ, ඔවුන් විසින් විමසනු ලැබූ, නමස්කාර කළ, හිරුට, සඳුට හා අහසේ තරු සියල්ලට ප්‍රදර්ශන වන්නට ඒවා අතුරා තබනු ඇත. ඒවා එකතු කරනු ලබන්නේවත්, වළලනු ලබන්නේවත් නැතිව, පොළෝ තලය මත සත්ව වසුරු මෙන් වනු ඇත. මා විසින් ඔවුන් පලවා හළ කොතැනදී වුව, මේ දුෂ්ට වංශයේ ජීවත් ව, ඉතිරි ව සිටින ස්වල්ප දෙනා වන සියල්ලන්, ජීවිත වෙනුවට මරණය තෝරාගනු ඇතැයි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ “ඔවුනට මෙසේ පවසන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ ‘මිනිසුන් වැටුණු කල, ඔවුන් යළි නැගිටින්නේ නැති ද? කෙනකු ඉවත හැරී ගිය කල, ඔහු යළි ආපසු එන්නේ නැති ද? එසේ නම් මෙම ජනයා ඉවත හැරී යෙරුසලම නිරන්තරයෙන් පසුබට ව සිටින්නේ මන්ද? ඔවුහු රැවටිල්ලේ ඇලෙති. ආපසු ඒම ප්‍රතික්ෂේප කරති. මම සාවධාන ව අසා සිටියෙමි, එහෙත් ඔවුන් හරි දේ පවසන්නේ නැත. “කුමක් ද මා කර ගත්තේ?” යි කියමින්, තම දුෂ්ටකම ගැන පසුතැවෙන කෙනෙක් නැත. යුද්ධයට පිම්මේ දුවන අශ්වයකු මෙන්, හැම කෙනෙක් ම තම තමාගේ අභිමතය පසු පස්සේ යති. අහසේ පියාසරන කොකා පවා, උගේ නියමිත කාල-සෘතු දනියි. පරෙවියා ද වැහි ලිහිණියා ද ගී කියන කුරුල්ලා ද තම තමන්ගේ සංක්‍රමණ කාලය අනුගමන කරයි. එහෙත් මගේ ජනයා ස්වාමින්වහන්සේගේ නියමයන් දන්නේ නැත. “ ‘බලන්න! ලියවිලි පිටපත් කරන්නන්ගේ බොරු ලියන පෑන, ව්‍යවස්ථාව ගැන බොරු කරද්දී, “අපි නුවණැත්තෝ ය, මන්ද ස්වාමින්වහන්සේගේ නීතිය අපට තියේ යැ” යි නුඹලාට කිව හැක්කේ කෙසේ ද? නැණවත්හු ලජ්ජාවට පත් කරනු ලබති. ඔවුහු භීතියට පත් වී, උගුලට හසු වන්නෝ ය. මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති කොට, ඔවුනට ඇත්තේ කවර ප්‍රඥාවක් ද? එබැවින් මම ඔවුන්ගේ භාර්යාවන් වෙනත් අයට දෙන්නෙමි. ඔවුන්ගේ වතු පිටි ජයග්‍රාහකයින්ට දෙන්නෙමි. මන්ද පහත් ම අය පටන් උත්තමයා දක්වා සැවොම වාසියට ම ගිජු ව සිටින බැවිනි. දිවැසිවරයා පටන් පූජකයා දක්වා හැම කෙනකු ම කටයුතු කරන්නේ, වංචනික ව ය. මගේ ජනයා වූ දියණියගේ තුවාලයට ඔවුන් බෙහෙත් බැඳ ඇත්තේ, ඕනෑවට-එපාවට ය. “සාමය, සාමය” යයි ඔවුහු කියති. එහෙත්, ඇති සාමයක් නැත. පිළිකුල්කම් කිරීම ගැන ඔවුහු ලජ්ජා වූවෝ ද? නැත, ඔවුන් කොහෙත් ම ලජ්ජා වූයේ නැත. ලජ්ජාව යනු කුමක් ද යන්නවත් ඔවුහු නො දනිති. එබැවින් වැටී යන්නවුන් අතරේ ඔවුන් වැටී යනු ඇත. මා ඔවුනට දඬුවම් කරන කල, ඔවුන් බිඳ හෙළනු ලබනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක. “ ‘මම ඔවුන් එකතු කරන කල, මිදි වැලේ මිදි පල නො වනු ඇතැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; අත්තික්කා ගහේ අත්තික්කා නො වන්නේ ය. එහි කොළ පවා වියළී යයි. මා ඔවුන්ට දුන් දෑ, ඔවුන් වෙතින් දුරු වී යනු ඇත.”


