YouVersion Logo
Search Icon

යෙරමියා 6

6
යෙරුසලමේ විපත්තිය
1“එම්බා බෙන්යමින් පුත්‍රයිනි,
ආරක්ෂාව සඳහා යෙරුසලම මධ්‍යයෙන් පලා යනු!
තෙකෝවාහි දී හොරණෑව හඬවනු!
බෙත්-හක්කෙරෙම්ට ඉහළින් සංඥාවක් ඔසවනු!
මන්ද විපත්තියක් උතුරේ සිට මාන බලයි.
මහ භයංකර විනාශයකි.
2ඒ සා ශෝබමාන, සිවුමැලි
සියොන් දියණිය මම විනාශ කරන්නෙමි.
3එඬේරුන් තම රංචු සමඟ ඇයට එරෙහිව පැමිණෙනු ඇත.
ඔවුන් ඇය වටා තම කූඩාරම් ගසා,
තම තමාගේ කොටසේ තණ කවනු ඇත.
4“ඇයට එරෙහිව යුද්ධයට සැරසෙනු!
නැගිටිනු; අපි මද්දහනේදී පහර දෙමු.
එනමුත් අහෝ ඛේදයකි! දහවල වියැකී යයි.
සැන්දෑ සෙවණැලි දිගින් වැඩේ.
5නැගිටිනු! රාත්‍රියේදී අපි පහර දෙමු.
ඇගේ මාලිගා විනාශ කරමු!”
6මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ගස් කපා, හෙළා,
යෙරුසලමට එරෙහිව වැටලුම් ගොඩැලි තනනු.
දඬුවම් දිය යුතු පුරවරය මෙයයි.
ඒ තුළ ඇත්තේ හිංසාව මිස අන් කිසිවක් නො වේ.
7ළිඳකින් අලුත් වතුර දිගට ම උනන සේ,
ඇය ද තම දුෂ්ටකම අලුත් කර ගනී.
සැහැසිකමත්, විනාශයත් ඇය තුළ දෝංකාර දෙයි.
ලෙඩ-රෝගත්, තුවාලත් හැම විට මා ඉදිරියේ ය.
8එම්බා යෙරුසලම, අවවාද සිතට ගන්න.
නුඹ වෙතින් මම පිළිකුලෙන් ඉවත නොහැරෙන පිණිස,
නුඹේ දේශය ජනාවාසයෙන් තොර පාළු බිමක් වන්නට
මා කටයුතු නො කරන පිණිස.”
9සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මිදි වැලක ඉතිරි පල සේ,
ඔවුහු ඉශ්‍රායෙල්හි ඉතිරි ස්වල්ප දෙනා මුළුමනින් එකතු කරත්වා;
මිදි පල නෙළන්නකු සේ
ඔබේ අත, යළිත් අතු ඔස්සේ යවන්න.”
10ඔවුන් සවන් දෙන පිණිස
මම කවරකු අමතා අවවාද කරම් ද?
මෙන්න ඔවුන්ගේ සවන් චර්මඡේද කර නැත.
ඔවුනට සවන් දෙන්නට බැරි ය. මෙන්න!
ස්වාමින්වහන්සේගේ වචනය ඔවුනට සමච්චලයට කරුණකි.
ඔවුන් ඒ තුළ ප්‍රසන්න වන්නේ නැත.
11එබැවින් මම ස්වාමින්වහන්සේගේ උදහසින් පුරවනු ලැබ සිටිමි.
එය දරා සිටීමෙන් මම වෙහෙසට පත් ව සිටිමි.
“වීදියෙහි සිටින දරුවන් පිටටත්,
එක් රැස් වූ තරුණයින් පිටටත්, එය වගුරු වන්න.
සැමියා හා බිරිඳ යන දෙදෙනා ද
වැඩිමහල්ලන් හා ඉතා වියපත් වූවන් ද ඊට හසුවනු ඇත.
12ඔවුන්ගේ ගේ-දොර ද
ඒ සමඟ ඔවුන්ගේ වතු පිටි හා ඔවුන්ගේ භාර්යාවන් ද
අන් අයට බාර දෙනු ලබනු ඇත.
මන්ද දේශ-වාසීනට එරෙහිව මම මගේ අත දිගු කරන බැවිනි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
13“මන්ද ඔවුන්ගේ පහත් ම අය පටන්, උත්තමයා දක්වා,
හැම කෙනකු ම වාසියට ම ගිජු ව සිටින බැවිනි.
දිවැසිවරයා පටන් පූජකයා දක්වා
හැම කෙනකු ම කටයුතු කරන්නේ වංචනික ව බැවිනි.
14මගේ ජනයාගේ තුවාලයට ඔවුන් බෙහෙත් බැඳ ඇත්තේ,
ඕනෑවට-එපාවට ය.
‘සාමය, සාමය’ යයි ඔවුහු කියති.
එහෙත්, ඇති සාමයක් නැත.
15තමන් පිළිකුල් සහගත ව හැසිරීම ගැන ඔවුහු ලජ්ජා වූවෝ ද?
නැත. ඔවුන් කොහෙත් ම ලජ්ජා වූයේ නැත.
ලජ්ජාව යනු කුමක් ද යන්නවත් ඔවුහු නො දනිති.
එබැවින් වැටී යන්නවුන් අතරේ ඔවුන් වැටී යනු ඇත.
මා ඔවුනට දඬුවම් කරන කල ඔවුන් බිඳ හෙළනු ලබති” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
16 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“හරස් පාරවල් ළඟ සිටගෙන, බලන්න.
ඉපැරණි මාවත් ගැන අහන්න.
හොඳ මාර්ගය කොතැන්හි දැයි අසා, එහි ගමන් කර,
ඔබේ ජීවාත්මයට විශ්‍රාමය අත්කර ගන්න.
එහෙත්, ‘අපි එහි ගමන් ගන්නේ නැතැ’ යි ඔවුහු කියති.
17මම නුඹලා උදෙසා මුරකරුවන් සිටුවා,
‘හොරණෑ නාදයට අවධානය යොමු කරන්නැ’ යි කීවෙමි.
එහෙත්, ඔවුහු ‘අප අවධානය දෙන්නේ නැතැ’ යි කීහ.
18එබැවින්, එම්බා ජාතීනී, මේ අසනු;
එම්බා එක් රැස්වූවනි,
ඔවුන්ට කුමක් වේ දැයි දැනගනු.
19එම්බා පොළොව, මේ අසනු.
මෙන්න මේ ජනතාව පිට මම විපත්තිය ගෙනෙන්නෙමි.
ඔවුන්ගේ කූටෝපායයන්වල පලය එයයි.
මන්ද මගේ වචනවලට ඔවුන් අවධානය යොමු කළේ නැත.
මගේ ව්‍යවස්ථාව ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය.
20ෂෙබායෙන් කට්ටකුමංජල් හා ඈත දේශයකින් සුවඳ දඬු
මා වෙත ගෙනෙන්නේ මොන ප්‍රයෝජනයකට ද?
නුඹලාගේ දවන යාග පූජා පිළිගැනෙන්නේ නැත.
නුඹලාගේ පුද පූජා මට ප්‍රසන්න නැත.”
21එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මෙන්න, මේ ජනයා ඉදිරියෙහි මම පැකිළීමේ බාධක තබන්නෙමි.
පිය-පුතු දෙගොල්ල එක සේ ඒවා ඉදිරියෙහි පැකිළෙනු ඇත.
අසල්වාසීන් හා මිතුරන් විනාශ වනු ඇත.”
22 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“අන්න! උත්තර දේශයේ සිට,
ජනකායක් පැමිණෙයි.
පොළොවේ දුර ඈත පෙදෙස් වෙතින්
ශ්‍රේෂ්ඨ ජාතියක් ද පොලඹවනු ලැබේ.
23ඔවුහු දුනු හා හෙල්ල දරති.
ඔවුහු කෲර ය, දයා විරහිත ය.
ඔවුන්ගේ නාදය, මහ මුහුදේ ඝෝෂාව වැන්න.
එම්බා සියොන් දියණිය,
යුද්ධයට පෙළ ගැසුණු මිනිසුන් මෙන්
ඔවුහු නුඹට එරෙහිව අසු පිටින් එති.”
24අපි ඒ ගැන තොරතුරු අසා ඇත්තෙමු.
අපගේ අත් එල්ලා වැටෙයි.
සිත් සන්තාපයේ ග්‍රහණයට හසු වූ අපගේ වේදනාව,
දරු ප්‍රසූතියේදී කාන්තාවකගේ වේදනාව වැන්න.
25එළිමහනට පිටතට නො යන්න;
මහ මාවත්හි ගමන් නො කරන්න.
මන්ද සතුරා අත කඩුවකි;
හැම පැත්තේ ම ඇත්තේ භීතිය ය.
26අහෝ මගේ ජනයා වූ දියණියනි, ගෝණි රෙදි ඇඟ ලා,
අළු ගොඩේ පෙරැළෙන්න.
එක ම පුතකු උදෙසා මෙන්
දැඩි විලාපයෙන් වැලපෙන්න.
මන්ද විනාශකයා එකපැහැර
අප පිටට එනු ඇත.
27“ඔවුන්ගේ මාර්ග දැන-පිරික්සනු සඳහා
මගේ ජනයා සඳහා
මම ලෝහ උරගා-බලන්නකු බවට
ඔබ පත් කළෙමි.
28ඔවුහු සැවොම දැඩි මුරණ්ඩු කැරලිකරුවෝ ය.
අපවාද නගමින් ඇවිදින්නෝ ය.
ඔවුන් ලෝකඩ හා යකඩ ය.
ඔවුන් සැවොම ක්‍රියා කරන්නේ දූෂිත ව ය.
29මයින හම රුදුරු ලෙස සුළං පිම්බ කල,
ගින්නෙන් ඊයම් දවා දැමිණ.
එහෙත් ශෝධනය කෙරෙනුයේ නිෂ්ඵල ව ය;
මන්ද දුෂ්ටයෝ එමඟින් බැහැර නො වෙති.
30ඔවුන් හැඳින්වෙන්නේ, ප්‍රතික්ෂේප කරන ලද රිදී යනුවෙනි.
මන්ද ස්වාමින්වහන්සේ විසින් ඔවුහු ප්‍රතික්ෂේප කරනු ලැබුවාහු ය.”

Currently Selected:

යෙරමියා 6: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in