YouVersion Logo
Search Icon

යෙරමියා 52

52
යෙරුසලමේ වැටීම
1සෙදෙකියා රජකමට පත් වන කල, විසිඑක් වන වියැති ය. ඔහු යෙරුසලමෙහි වසර එකොළහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හමූටල් ය. ඈ ලිබ්නාහි යෙරමියාගේ දියණිය ය. 2යෙහෝයාකීම් කර තිබූ පරිද්දෙන්, සෙදෙකියා ද ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. 3යෙරුසලමටත්, යූදාටත් මේ සියලු දෑ සිදු වූයේ, ස්වාමින්වහන්සේගේ කෝපය නිසා ය. අවසානයේදී උන්වහන්සේ තමන් අබියසින් ඔවුන් පන්නා දැමූ සේක.
තවද සෙදෙකියා බබිලෝනියේ රජුට එරෙහිව කැරලි ගැසී ය.
4එබැවින්, ඔහුගේ රාජ සමයේ නව වන වසරේ, දහ වන මස, දහ වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් තම මුළු හමුදාව සමඟ යෙරුසලමට එරෙහිව ගියේ ය. ඔවුහු පුරවරයට පිටතින් කඳවුරු ගසා, ඒ වටා වැටලුම් පවුරු ඉදි කළහ. 5මෙසේ සෙදෙකියා රජුගේ එකොළොස් වන වසර දක්වා ම පුරවරය වටලනු ලැබ තිබිණ.
6හතර වන මස, නව වන දින වන විට ජනතාවට කෑමට ආහාර නොමැති තරමට පුරවරයේ සාගතය ඉතා උග්‍ර විය. 7මෙවිට පුර පවුර බිඳ, මුළු මහත් හමුදාව පලා ගියහ. කල්දිවරුන් පුරවරය වටා සිටි නමුදු, ඔවුහු රජ උයන අසල පවුරු යුගල අතරේ වූ දොරටුවෙන් රාත්‍රියේ පුරවරය හැර පලා යමින්, අරාබා දෙසට ගමන් ගත්හ. 8එහෙත් කල්දිවරුන්ගේ හමුදාව, සෙදෙකියා රජු ලුහුබැඳ යෙරිකෝ තැන්නේදී ඔහු අල්ලා ගත්තේ ය. ඔහුගේ සියලු හේවායෝ ඔහු වෙතින් බැහැර කොට, විසුරුවන ලදහ. 9මෙසේ සෙදෙකියා රජු අල්ලා ගනු ලැබ,
හමාත් දේශයේ රිබ්ලාහි වූ බබිලෝනි රජු වෙත ගෙන යන ලදී. එහිදී රජු ඔහු ගැන විනිශ්චය දුන්නේ ය. 10රිබ්ලාහි දී බබිලෝනියේ රජු, සෙදෙකියා ඉදිරිපිටදී ම ඔහුගේ පුතුන් මැරවී ය. ඔහු යූදාහි සියලු නිලධාරීන් ද මැරවී ය. 11ඉන්පසු ඔහු සෙදෙකියාගේ ඇස් උගුල්ලා, ලෝකඩ විලංගු ලා, බබිලෝනියට ඔහු ගෙන ගොස්, සිර ගෙයි දැමී ය. මියෙන දවස දක්වා ඔහු සිටියේ එහි ය.
12බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ දහනව වන වසරේ, පස් වන මස දස වන දින, බබිලෝනි රජුගේ රාජ සේවයේ නියුතු ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් යෙරුසලමට පැමිණියේ ය. 13ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහය ද රාජ මාලිගය ද යෙරුසලමේ සියලු නිවාස ද හැම විශාල ගොඩනැගිල්ලක් ද දවා දැමී ය. 14ආරක්ෂක සේනාධිපති යටතේ වූ මුළු බබිලෝනි හමුදාව, යෙරුසලම වටා තිබූ පවුර බිඳ දැමූහ. 15ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් ජනතාවගේ ඉතා දුගී ඇතැම් දෙනකු ද පුරවරයේ රැඳී සිටියවුන් ද ඉතිරි ව සිටි පුහුණු ශිල්පීන් ද බබිලෝනියේ රජු වෙතට පලාගියවුන් ද පිටුවහල් කොට ගෙන ගියේ ය. 16එහෙත් ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් මිදි වතු හා කෙත් වතුවල වැඩ කරන පිණිස, දේශයේ අන්ත දුගීන් ඇතැම් දෙනකු නතර කළේ ය.
17 ස්වාමින්වහන්සේගේ ගෘහයේ තිබූ ලෝකඩ කුලුනු ද රඳවන ද ලෝකඩ මුහුදු තටාකය ද කල්දිවරු කැබලි කොට, ලෝකඩ සියල්ල බබිලෝනියට ගෙන ගියහ. 18තවද ඔවුහු මුට්ටි ද හැඳි ද පහන් තිර කපන කතුරු ද ලේ ඉසින බඳුන් ද තැටි ද දේව මාලිග සේවා සඳහා උපයෝගී කොට ගත් ලෝකඩ උපකරණ සියල්ල ද ගෙන ගියහ. 19ආරක්ෂක සේනාධිපති බේසම් ද දුම් බඳුන් ද ඉසින බඳුන් ද මුට්ටි ද පහන් රුක් ද තැටි ද පාන පූජා පාත්‍ර ද යන වශයෙන් පවිත්‍ර රනින් හා පවිත්‍ර රිදීයෙන් සාදා තිබූ සියලු දෑ ගෙන ගියේ ය.
20 ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජු විසින් සාදන ලද කුලුනු දෙකෙහි ද ලෝකඩ මුහුදු තටාකයේ ද ඊට යටින් තිබූ ලෝකඩ දොළොස් ගවයින්ගේ ද රඳවනවල ද වූ ලෝකඩ කිරන්නට බැරි තරමට තිබිණ. 21එක් කුලුනක් උසින් රියන් දහඅටකි#52:21 උස මීටර් 8.1ක් පමණ.. වට ප්‍රමාණය රියන් දොළොසකි#52:21 මීටර් 5.4ක් පමණ.. ඇඟිලි හතරක ගනකමින් යුත් එහි ඇතුළත කුහරයකි. 22එක් කුලුනක මුඳුනත වූ පේකඩය උසින් රියන් පහකි#52:22 එනම් මීටර් 2.3ක් පමණ.. එය වටා කැටයම් කළ දැල් හා දෙළුම් ගෙඩි සැරසිලි තිබිණි. ඒ සියල්ල ලෝකඩයෙනි. අනෙක් කුලුන ද දෙළුම්වලින් ද යුතු ව ඒ හා සමාන විය. 23එහි පැතිවල දෙළුම් අනූහයකි. වටේට වූ දැල් කැටයමට ඉහළින් මුළු දෙළුම් ගණන සියයකි.
24ආරක්ෂක සේනාධිපති, ප්‍රධාන පූජක සෙරායා ද දෙවන පූජක සෙෆනියා ද දොරටුපාලයින් තිදෙනා ද සිරකරුවන් කොට අල්ලා ගත්තේ ය. 25ඒ වන තුරු ම පුරයේ සිටි යුද්ධ භටයින් බාර නිලධාරියා ද රාජ උපදේශකයින් හත්දෙනකු ද අල්ලා ගත්තේ ය. යුද්ධයට දේශයේ මිනිසුන් ලියාපදිංචි කරවීම බාර ප්‍රධානියා වූ ලේකම්වරයා හා පුරවරයේ සිටි මිනිසුන් හැටදෙනකු ද ඔහු අල්ලා ගත්තේ ය. 26ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් ඔවුන් සියලු දෙනා අල්ලාගෙන, රිබ්ලාහි සිටි බබිලෝනි රජු වෙත ඔවුන් ගෙන ආවේ ය. 27හමාත් දේශයේ රිබ්ලාහි දී බබිලෝනි රජු ඔවුන් ගසා හෙළා, මරා දැමී ය.
මෙසේ යූදා, තම දේශයෙන් පිටතට, පිටුවහල් කොට ගෙන යනු ලැබුවේ ය.
28නෙබුකද්නෙසර් විසින් පිටුවහල් කොට ගෙන යන ලද ජනයාගේ ගණන මෙසේ ය:
හත් වන අවුරුද්දේදී, යුදෙව්වරුන්
තුන්දහස් විසිතුන් දෙනෙකි;
29නෙබුකද්නෙසර්ගේ දහඅට වන අවුරුද්දේ,
යෙරුසලම් ජනයා අටසිය තිස් දෙදෙනෙකි;
30නෙබුකද්නෙසර්ගේ විසිතුන් වන අවුරුද්දේ,
ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් විසින් පිටුවහල් කොට ගෙන යන ලද යුදෙව්වරුන් හත්සිය හතළිස්පස් දෙනෙකි.
සියල්ලෝ පුද්ගලයින් හාරදහස් හයසියයකි.
යෙහෝයාකීන් පිටුවහල් කිරීම
31යූදා රජු වූ යෙහෝයාකීන්ගේ පිටුවහල් ව සිටීමේ තිස්හත් වන අවුරුද්දේ එවීල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් විය. ඔහු තම පළමු අවුරුද්දේ දොළොස් වන මස විසිපස් වන දින යූදා රජු වූ යෙහෝයාකීන් සිර ගෙයින් නිදහස් කොට මුදා හැරියේ ය. 32ඔහු කරුණාවෙන් ඔහුට කතා කර, බබිලෝනියේ තමා සමඟ සිටි සෙසු රජුන්ගේ ආසනවලට වඩා ගෞරවනීය තැනක් ඔහුට දුන්නේ ය. 33එබැවින් යෙහෝයාකීන් තම සිර ඇඳුම් ඉවත ලා, තම ජීවිතයේ ඉතිරි කාලයේ දිනපතා ම රජුගේ මේසයේ හිඳ කෑම කෑවේ ය. 34බබිලෝනියේ රජු යෙහෝයාකීන්ගේ මරණය දක්වා ඔහුගේ ජීවිත කාලය පුරා ම ඔහුට නිත්‍ය කොටසක් දිනපතා දුන්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in