YouVersion Logo
Search Icon

යෙරමියා 44

44
පිළිම වන්දනාවේ ආදීන ව
1ඊජිප්තු දේශයේ මිග්දෝල්, තාපන්හේස් හා මෙම්ෆිස්හි#44:1 මෙම්ෆිස්හි හෙබ්‍රෙව් නොෆ් ද පත්‍රෝස්#44:1 පත්‍රෝස් එනම් ඉහළ ඊජිප්තුව දේශයෙහි ද විසූ මුළු යුදෙව් ජනයා පිළිබඳව යෙරමියා වෙත පැමිණි වචනය මෙසේ ය; 2“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: යෙරුසලම පිටත්, යූදා සියලු නගර පිටත් මා පැමිණ වූ මහා විපත්ති ඔබ ම දුටුවහ. මෙන්න, අද ඒවා ජරාවාස ව, ජනශූන්‍ය ව පවතින්නේ, 3ඔවුන් කළ දුෂ්ටකම් නිසා ය. නුඹලාවත්, නුඹලාගේ පියවරුන්වත් කිසි කලෙක දැන නො සිටි දෙවිවරුන්ට සුවඳ දුම් පිදීමෙන් හා නමස්කාර කිරීමෙන්, ඔවුහු මා ප්‍රකෝප කළහ. 4මම නැවත, නැවතත් මගේ සේවකයින් වන දිවැසිවර සියල්ලන් එවමින්, ‘අහෝ! මා ද්වේෂ කරන මේ පිළිකුල් සහගත දෑ නො කරනු’ යි කීවෙමි. 5එහෙත් ඔවුන් ඇසුවේ නැත. ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. ඔවුන් තම දුෂ්ටකමින් ඉවත හැරුණේවත්, වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් දැවීම, නැවැතුවේවත් නැත. 6එබැවින්, මගේ උදහසත්, මගේ කෝපයත් වගුරුවනු ලැබී ය. එය යූදා නගරවලටත්, යෙරුසලම් වීදිවලටත් එරෙහිව ඇවිළ, අද දවසේ තිබෙන පරිදි ඒවා පාළු වූ ජරාවාස බවට පත් කර ඇත.
7“එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉතිරි ස්වල්ප දෙනකුවත් ඉතිරි නො වන ලෙසට පුරුෂයින් හා ස්ත්‍රීන් ද ළමයින් හා ළදරුවන් ද යූදා අතරින් සිඳ දැමෙන ලෙස, ඔබ පිට මේ සා මහා විපත්තියක් පමුණුවා ගන්නේ මන්ද? 8පදිංචි වන පිණිස ඔබ පැමිණි ඊජිප්තු දේශයේ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් දැවීමෙන්, ඔබගේ අත්වල වැඩ මගින් මගේ කෝපය අවුළුවන්නේ මන්ද? මෙසේ ඔබ, ඔබට ම විනාශය පමුණුවා ගනිමින්, මිහි මත සියලු ජාතීන් අතරෙහි ශාපයකට හා නින්දාවකට පාත්‍ර වෙති. 9යූදා දේශයේදී හා යෙරුසලම් වීදිවලදී නුඹලාගේ පියවරුන් කළ දුෂ්ටකම්, නුඹලාගේ රජුන් කළ දුෂ්ටකම්, ඔවුන්ගේ බිසෝවරුන් කළ දුෂ්ටකම් ද නුඹලාගේ ම දුෂ්ටකම් හා නුඹලාගේ භාර්යාවන් කළ දුෂ්ටකම් ද නුඹලාට අමතක ද? 10අද දවස දක්වාත් ඔවුන් පසුතැවිලි වුණේවත්, භය පක්ෂපාතී වුණේවත් නැත. නුඹලා ඉදිරියෙහිත්, නුඹලාගේ පියවරුන් ඉදිරියෙහිත් මා තැබූ මගේ ව්‍යවස්ථාව හා නියෝග ඔවුන් පිළිපැද්දේ ද නැත.
11“එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙන්න! නුඹලා පිට විපත්තිය ගෙනෙමින්, යූදා මුළුමනින් විනාශ කර දමන්නට මම මගේ මුහුණ නුඹලාට එරෙහිව තබා සිටිමි. 12ඊජිප්තුවට ගොස්, එහි පදිංචි වන්නට මුහුණ යොමු කර ගෙන සිටින යූදාහි ඉතිරි ස්වල්ප පිරිස, මම ඉවත් කරන්නෙමි. ඔවුන් සැවොම ඊජිප්තුවේදී විනාශ කර දමනු ලැබේ. ඔවුන් සැවොම ඊජිප්තු දේශයේදී විනාශ කර දමනු ලැබේ. ඔවුන් කඩුවෙන් වැටී යනු ඇත, නැතහොත් සාගතයෙන් මියෙනු ඇත. කුඩා අය සිට මහ අය දක්වා ඔවුන් කඩුවෙන් හෝ සාගතයෙන් හෝ මියෙනු ඇත. ඔවුන් ශාපයකට ද භීතියකට ද පිළිකුලකට හා නින්දාවකට ද පත් වනු ඇත. 13යෙරුසලමට මා දඬුවම් කළ පරිද්දෙන්, ඊජිප්තුවේ වාසය කරන්නටත් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම දඬුවම් කරන්නෙමි. 14පදිංචි වන පිණිස ඊජිප්තු දේශයට ගිය යූදාහි ඉතිරි ස්වල්ප දෙනා, යූදා දේශයට ආපසු පැමිණ, වාසය කිරීමට ඉතා ආශා වන නමුත්, ආපසු ඒමට ඔවුන්ගෙන් කිසිවකුත් ගැලවෙන්නේවත්, ඉතිරි වන්නේවත් නැත. භයින් පලා යන අතළොස්සක් හැර, කිසිවකුත් ආපසු එන්නේ නැත.”
15එවිට, තම භාර්යාවන්, වෙනත් දෙවිවරුනට සුවඳ දුම් දවන වග දැන සිටි සියලු මිනිස්සු ද එහි සිටි සියලු කාන්තාවෝ ද මහා සමූහයක් ව පැමිණ, ඊජිප්තු දේශයෙහි සහ පත්‍රෝස්හි විසූ සියලු ජනයා ද යෙරමියාට පිළිතුරු දෙමින්, 16ස්වාමින්වහන්සේගේ නාමයෙන් නුඹ අපට පැවසූ වචනවලට අප නුඹට සවන් දෙන්නේ නැත. 17බාරයක් වෙමින්, අප පැවසූ හැම දෙයක් ම අප කරනවාමයි: අප ද අපේ පියවරුන් ද අපේ රජුන් හා අපේ අධිපතීන් ද යූදාහි නගරවලදී හා යෙරුසලම් වීදිවලදී කළ පරිදි, අහස් දේවියට සුවඳ දුම් දැවීමත්, ඇයට පාන පූජා වැගිරවීමත් කරන්නෙමු. ඒ කාලයේ, බහුල ව ආහාර තිබිණ. අපි ඉසුරුමත් ව සිටියෙමු. කිසි කරදරයක් ද නො විණ. 18එහෙත් අහස් දේවියට සුවඳ දුම් දැවීමත්, පාන පූජා වැගිරවීමත් අප නතර කළ දා පටන් අපට හැම දෙයක් ම හිඟවීමත්, කඩුවෙන් හා සාගතයෙන් විනාශවීමත් සිදු විණැ” යි කීහ.
19කාන්තාවෝ ද කතා කරමින්, “අහස් දේවියට අප සුවඳ දුම් දැවූ කල, ඇයට පාන පූජා වැගුරූ කල, ඇගේ රූපයට අනුව අප කැවිලි සෑදුවේත්, ඇයට පාන පූජා වැගිරුවේත් අපගේ සැමියන් නො දැනුවත් ව දැ?” යි කීහ.
20එවිට යෙරමියා, තමන්ට පිළිතුරු දුන් සියලු ජනයා, පුරුෂ-ස්ත්‍රී දෙගොල්ල ම අමතමින්, 21“නුඹලා ද නුඹලාගේ පියවරුන් ද නුඹලාගේ රජුන් හා නුඹලාගේ නිලධාරීන් ද දේශයේ ජනතාව ද යූදාහි නගරවල හා යෙරුසලම් වීදිවලදී දවන ලද සුවඳ දුම් පූජා ගැන ස්වාමින්වහන්සේට අමතක වී ද? උන්වහන්සේ ඒ ගැන නො සිතූ සේක් ද? 22නුඹලාගේ දුෂ්ට ක්‍රියා හා නුඹලා කළ පිළිකුල් කටයුතු තවදුරටත් ස්වාමින්වහන්සේට ඉවසිය නො හැකි විණ. අද දවසේ ඇති වී තිබෙන පරිදි, නුඹලාගේ දේශය ශාපයට පාත්‍ර වී ඇත්තේත්, එය ජනාවාසයෙන් තොර ව, ජරාවාස ව ඇත්තේත් එබැවිනි. 23අද දවසේ ඇති වී තිබෙන මේ විපත්තිය නුඹලා පිටට පැමිණ ඇත්තේ, නුඹලා සුවඳ දුම් දැවූ නිසාත්, ස්වාමින්වහන්සේට එරෙහිව පව් කළ නිසාත්, ස්වාමින්වහන්සේගේ කටහඬට නුඹලා කීකරු නො වූ නිසාත්, උන්වහන්සේගේ ව්‍යවස්ථාව, උන්වහන්සේගේ නියෝග හා උන්වහන්සේගේ පනත් නුඹලා අනුගමන නො කළ නිසාත් යැ” යි පැවසී ය.
24ඉන්පසු යෙරමියා සියලු කාන්තාවන් ඇතුළු මුළු ජනතාවට කතා කරමින්, “ඊජිප්තුවේ සිටින සියලු යූදා ජනයිනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු! 25ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘අහස් දේවියට සුවඳ දුම් දැවීමටත්, ඇයට පාන පූජා වැගිරවීමටත් අප වූ බාර-හාර සැබවින් ම අපි ඉටු කරන්නෙමු’ යි කීමෙන් නුඹලාත්, නුඹලාගේ බිරියනුත් නුඹලා මුවින් කළ ප්‍රකාශ නුඹලාගේ ම දෑතේ ක්‍රියාවලින් ඔප්පු කර ඇත.
“අගෙයි! නුඹලා පොරොන්දු වූ දෑ කරමින්, නුඹලාගේ බාර-හාර ඉටු කරනු! 26එසේ වුවත්, ඊජිප්තුවෙහි වෙසෙන සියලු යුදෙව්වරුනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! ‘මෙන්න! මුළු ඊජිප්තුවෙහි වෙසෙන යූදාහි කවරකු හෝ “පරමාධිපති ස්වාමින්වහන්සේ ජීවමාන වග සැබෑ සේ ම” කියා මින් මතු කිසි දිනෙක මගේ නාමයෙන් දිවුරන්නේ නැති බවට මම මගේ ම උත්තම නාමයෙන් දිවුරමි’ යි ස්වාමින්වහන්සේ පවසන සේක. 27‘මෙන්න, මම පරීක්ෂාවෙන් ඔවුන් දෙස බලා සිටිමි. ඒ ඔවුන්ට වැඩ පිණිස නො ව, ඔවුන්ට අවැඩ පිණිස ය. ඊජිප්තුවෙහි සිටින යුදෙව්වන් සහමුලින් ම නැති වී යන තෙක්, ඔවුන් කඩුවෙන් ද සාගතයෙන් ද වැනසී යනු ඇත. 28කඩුවෙන් ගැලවී, ඊජිප්තුවේ සිට යූදා දේශයට ආපසු එන්නේ, ගණනින් ස්වල්ප දෙනෙකි. එවිට ඊජිප්තු දේශයේ වාසය පිණිස ගිය යූදාහි මුළු ඉතිරි ස්වල්ප දෙනා, වලංගුව පවතින්නේ කවුරුන්ගේ වචනය ද යන්න, එනම් මගේ වචනය ද ඔවුන්ගේ වචනය ද යන්න දැනගනු ඇත.
29“ ‘නුඹලාට එරෙහිව නුඹලාට අවැඩ පිණිස වූ මගේ වචනය සැබවින් ම වලංගුව පවතින පිණිස, මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය යැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; 30ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඊජිප්තුවේ රජු වූ පාරාවෝ හොෆ්රා, ඔහුගේ දිවි තොර කරන්නට සොයන ඔහුගේ සතුරන් අතට මම හසුකර දෙන්නෙමි. එසේ කරන්නේ, යූදාහි රජු වූ සෙදෙකියා ඔහුගේ දිවි තොර කිරීමට සෙවූ ඔහුගේ සතුරා වන බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් අතට මා විසින් හසුකර දෙනු ලැබූ අයුරින් ම ය.’ ”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in