YouVersion Logo
Search Icon

යෙරමියා 16

16
විපත්තියේ දවස
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 2“නුඹ මේ ස්ථානයෙහි බිරිඳක් නො ගත යුතු ය. පුතුන් හෝ දූවරුන් හෝ නො ලද යුතු ය.” 3මන්ද මේ ස්ථානයෙහි උපත ලබන පුත්‍රයින් හා දූවරුන් ගැනත්, මෙම දේශයෙහි ඔවුන් බිහි කරන මවුවරුන් ගැන හා ඔවුන් ජනනය කරන පියවරුන් ගැනත් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: 4“ඔවුන් මාරාන්තික රෝගවලින් මියෙනු ඇත. ඔවුන් ගැන වැලපීමක් නො වනු ඇත; ඔවුන් වළලනු ලබන්නේ ද නැත. ඔවුන් පොළෝ තලය මත සත්ව වසුරු මෙන් වනු ඇත. කඩුවෙන් හෝ සාගතයෙන් විනාශයට පත් වන ඔවුන්ගේ මළ කඳන්, අහස් පක්ෂීන්ට හා පොළෝ මෘගයින්ට ගොදුරු වනු ඇත.”
5මන්ද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “වැලපීමට හෝ ඔවුන් උදෙසා ශෝක වීමට මළ ගෙදරකට ඇතුළු නො වන්න. මන්ද මම මගේ සාමය සමඟ මගේ ප්‍රේමයත්, මගේ දයාවත් මේ ජනයා වෙතින් ඉවත් කර ගත්තෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 6“මේ දේශයේ උසස් අයත්, පහත් අයත් යන දෙගොල්ල ම මියෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ නැත. ඔවුන් ගැන වැලපීමක් නැත. ඔවුන් නිසා කිසිවකු කැපුමක් කර ගන්නේවත්, හිස මුඩු කර ගන්නේවත් නැත. 7මළ අය නිසා ශෝක වන්නන් අස්වසන්නට කිසිවකු හෝ ඔවුනට රොටි කඩන්නේ නැත. පියා හෝ මව හෝ නිසාවත්, ඔවුන් සනසන්නට ඔවුනට බීමක් දෙන කෙනෙක් ද නැත.
8“තවද, හිඳගෙන කෑමට-බීමට, උත්සව ගෙදරකට ඔබ ඇතුළු නො විය යුතු ය. 9මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න! ඔබගේ ඇස් පනා පිට, ඔබගේ දවස්හි දී ප්‍රීතියේ නාදයත්, ප්‍රමෝදයේ නාදයත් හා මනාලියගේ කටහඬ හා මනාලයාගේ කටහඬත් මේ ස්ථානයේ නිහඬ කරන්නෙමි.
10“ඔබ මේ සියල්ල මෙම ජනයාට පැවසූ කල, ඔවුන් ඔබට කතා කර, ‘අපට එරෙහිව මේ සා මහ විපත්තියක්, ස්වාමින්වහන්සේ ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇයි? මොකක් ද අප කළ වරද? අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව අප කුමන පාපයක් කළෙමු ද?’ යි අසනු ඇත. 11එවිට ඔවුනට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ඊට හේතුව, නුඹලාගේ පියවරුන් මා අත්හැර, වෙනත් දෙවිවරුන් පසු පස යමින්, ඔවුන්ට මෙහෙ කරමින්, නමස්කාර කළ නිසා ය. ඔවුහු මා අත්හැරියහ. මගේ ව්‍යවස්ථාව පිළිපැද්දේ නැත. 12නුඹලා ද නුඹලාගේ පියවරුන්ටත් වඩා දුෂ්ට ලෙස ක්‍රියා කර ඇත. ඔන්න නුඹලා හැම කෙනෙක් ම මට සවන් නො දෙමින්, තම තමාගේ දුෂ්ට හදෙහි මුරණ්ඩුකමින් තම කැමැත්තට අනුව හැසිරෙන හැටි පෙනේ ද! 13එබැවින්, මේ දේශයෙන් පිටතට, නුඹලාවත්, නුඹලාගේ පියවරුන්වත් නො දැන සිටි පිට දේශයකට, මම නුඹලා හෙළා දමමි. එහිදී නුඹලා දිවා රැයේ අන් දෙවිවරුන්ට මෙහෙ කරනු ඇත. මම නුඹලාට කිසිදු කරුණාවක් නො දක්වන්නෙමි.’
14“එහෙත් මෙන්න! ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, ‘ඊජිප්තු දේශයෙන් පිටතට ඉශ්‍රායෙල් ජනයා ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම’ යනුවෙන් තවදුරටත් කියනු නො ලබන දවස් පැමිණෙන්නේ ය” කියා ය. 15එසේ නො ව, “උතුරු දේශයෙන් ද උන්වහන්සේ විසින් ඔවුන් පලවා හැර තිබූ සෙසු සියලු රටවලින් ද පිටතට ඉශ්‍රායෙල් ජනයා ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම” යයි ඔවුන් කියනු ඇත. මන්ද ඔවුන්ගේ පියවරුන්ට මා දුන් දේශයට ම මම ඔවුන් යළි ගෙනෙන්නෙමි.
16“මෙන්න! දැන්, මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනකු කැඳවා යවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔවුහු, ඔවුන් අල්ලා ගන්නෝ ය. ඉන්පසුව මම දඩයක්කරුවන් බොහෝ දෙනකු කැඳවා යවන්නෙමි. ඔවුහු හැම කන්දකින් හා හෙල් හැමකකින් හා පර්වත විවර වෙතින් ඔවුන් දඩයම් කරන්නෝ ය. 17මගේ ඇස් ඔවුන්ගේ මාවත් සියල්ල දෙස යොමු ව පවතී. ඒවා මගෙන් සැඟවී නැත. ඔවුන්ගේ අයුතුකම ද මගේ ඇස්වලින් සැඟවී නැත. 18ඔවුන්ගේ දුෂ්ටකමට හා ඔවුන්ගේ පාපයට දෙගුණයකින් ආපසු ගෙවන්නට ඔවුන්ට මම සලස්වන්නෙමි. මන්ද ඔවුන් තමන්ගේ නීච පිළිම රූපවල මළකුණුවලින් මගේ දේශය කෙලෙසා ඇත. ඔවුහු මගේ උරුමය ඔවුන්ගේ පිළිකුල්කම්වලින් පිරවූහ.”
19මගේ ශක්තිය ද මගේ බළකොටුව ද
විපත්ති දවසේදී මගේ සරණය ද වූ
අහෝ ස්වාමින්වහන්ස,
පොළොවේ කෙළවරවලින් ජාතීහු ඔබ වෙත අවුත්,
කියන්නේ, “බොරු මිස අන් කිසිවක් අපේ පියවරුන්ට උරුම ව තිබුණේ නැත.
ඒවා, ඔවුන්ට කිසි සෙතක් නො වූ කමකට නැති දෑ පමණි.
20මිනිසා තමන්ට ම දෙවිවරුන් තනා ගනිත් ද?
කොහෙත් ම ඒවා සැබෑ දෙවිවරුන් නො වේ.”
21“එබැවින් ඔන්න මම ඔවුන් දැනුම්වත් කරමි.
මේ වතාවේ මම ඔවුන්ට මගේ බලයත්,
මගේ වික්‍රමයත් දැනුම්වත් කරමි.
එවිට මගේ නාමය
ස්වාමින්වහන්සේ වග ඔවුන් දැනගනු ඇත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in