YouVersion Logo
Search Icon

යෙරමියා 11

11
කඩවුණු ගිවිසුම
1 ස්වාමින්වහන්සේ වෙතින් යෙරමියා වෙත පැමිණි වචනයයි මේ: 2“මෙම ගිවිසුමේ වචනවලට සවන් දී, යූදා මිනිසුන්ටත්, යෙරුසලම් වාසීන්ටත් ඒවා පවසන්න. 3ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැයි ඔවුන්ට කියන්න: ‘මෙම ගිවිසුමේ වචනවලට සවන් නො දෙන මිනිසා ශාප ලද්දෙකි. 4ඒ වචන යකඩ උදුනක් වැනි ඊජිප්තු දේශයෙන් පිටතට මා නුඹලාගේ පියවරුන් ගෙන ආ කල, මා ඔවුන්ට අණ කළ ඒවා ය.’ එනම් ‘මගේ කටහඬට සවන් දී, මා ඔබට අණ කළ හැම දේ කරන්න. එවිට නුඹලා මගේ ජනයා වනු ඇත. මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි. 5ඒ අනුව නුඹලාගේ ආදී පියවරුන්ට මා ශපථ කළ දිවුරුම ස්ථිර කරමින් අද දවසේ ඔබ අත්කර ගෙන සිටින දේශය වන කිරි හා පැණි ගලා යන දේශය ඔවුන්ට දෙන්නෙමි.’ ”
එවිට මම, “ඒ එසේ ම වේවා ස්වාමින්වහන්ස,” යි උත්තර දුනිමි.
6තවද ස්වාමින්වහන්සේ මට කතා කොට, “මේ සියලු වචන යූදාහි පුරවරවලත්, යෙරුසලමේ වීදිවලත් ප්‍රකාශ කරන්න: ‘මෙම ගිවිසුමේ වචනවලට ඇහුම්කන් දී ඒවා අනුගමන කරන්න. 7මා නුඹලාගේ පියවරුන් ඊජිප්තු දේශයෙන් ගෙන ආ දවසේ පටන් අද දවස දක්වා යළි යළිත් ඔවුන්ට අවවාද කරමින්, “මගේ කටහඬට කීකරු වනු” යි කීවෙමි. 8එහෙත්, ඔවුන් සවන් දුන්නේ නැත. අවධානය යොමු කළේ නැත. ඒ වෙනුවට ඔවුන් හැම කෙනෙක් ම තම දුෂ්ට හදවත්හි මුරණ්ඩු ස්වභාවය අනුව ගියහ. එබැවින්, මා ඔවුනට කරන්නට අණ කළ, එහෙත් ඔවුන් ඉටු නො කළ මේ ගිවිසුමට අදාළ සියලු ශාප මම ඔවුන් පිටට පැමිණ වීමි.’ ”
9ඉන්පසු ස්වාමින්වහන්සේ මට මෙසේ පැවසූ සේක: “යූදාහි ජනයා අතරේත්, යෙරුසලමෙහි වාසය කරන්නන් අතරේත් කුමන්ත්‍රණයක් පවතී. 10මගේ වචනවලට ඇහුම්කන්දීම ප්‍රතික්ෂේප කළ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔවුන් ආපසු හැරී ඇත. වෙනත් දෙවිවරුනට සේවය කරන පිණිස, ඔවුහු ඔවුන් පසු පස ගියහ. ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය, ඔවුන්ගේ පියවරුන් සමඟ මා කළ ගිවිසුම කඩකොට ඇත. 11එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න, ඔවුනට ගැලවීගත නො හැකි විපත්තියක් මම ඔවුන් පිට ගෙනෙන්නෙමි. ඔවුන් මට මොර ගා, කෑ ගැසුවත් මම ඔවුන්ට සවන් නො දෙන්නෙමි. 12යූදාහි පුරවර හා යෙරුසලමෙහි වාසය කරන්නන් ඔවුන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද දෙවිවරුන්ට මොර ගසනු ඇත. එහෙත් ඔවුන්ගේ විපත්ති අවස්ථාවේ ඔවුන්ට කිසි පිහිටක් ඔවුන්ගෙන් නො ලැබෙනු ඇත. 13එම්බා යූදා, නුඹලාට ඇති නගර හා සමාන ව නුඹලාට දෙවිවරුන් ද බොහෝ ය. තවද ඒ නින්දිත බාල් දෙවියාට සුවඳ දුම් පිදීමට ඔබ ගොඩ නැගූ පුදසුන් ද යෙරුසලමේ වීදි හා සමාන ව බොහෝ ය.’
14“එබැවින් මේ ජනයා උදෙසා යාච්ඤා නො කරන්න. ආයාචනයක් හෝ කන්නලව්වක් හෝ ඔවුන් උදෙසා නො කරන්න. මන්ද තම විපත්ති අවස්ථාහි ඔවුන් මට හඬ ගසන කල, මම ඔවුන්ට ඇහුම්කන් නො දෙන්නෙමි.
15“මගේ පෙම්බරිය බොහෝ දෙනකු සමඟින් නීචකම් කර තිබියදී,
මගේ ගෘහයෙහි ඇයට ඇති කාරිය කිම?
පසුව ඔබට ප්‍රීති විය හැකි වන පිණිස,
ඔබගේ දඬුවම වළක්වන්නට
පූජා මස්වලට හැකි වේ ද?”
16 ස්වාමින්වහන්සේ ඔබට නම් තබමින්,
“පලයෙන් ද හැඩයෙන් ද අලංකාර සරු ඔලීව ගසකැ” යි පැවසූ නමුදු,
බලවත් කුණාටුවක ඝෝෂාවෙන් යුතු ව
උන්වහන්සේ එය ගිනි අවුළන සේක.
එහි අතු දැවී යනු ඇත.
17සේනාංකවල ස්වාමින්වහන්සේ ඔබ රෝපණ කළ නමුදු, ඔබට විපත්තිය නියම කර ඇත්තේ ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය දුෂ්ටකම් කර, බාල් දෙවියාට සුවඳ දුම් පිදීමෙන්, මා කෝප ගැන් වූ නිසා ය.
යෙරමියාට විරුද්ධ කුමන්ත්‍රණය
18 ස්වාමින්වහන්සේ එය මට දැනුම් දුන් බැවින් මම එය දැන ගතිමි. එවිට ඔවුන්ගේ ක්‍රියා ඔබවහන්සේ මට පෙන් වූ සේක. 19මා සිටියේ ඝාතනය පිණිස ගෙන යන හීලෑ බැටළු පැටවකු ලෙසිනි. ඔවුන් මට එරෙහිව කුමන්ත්‍රණ කර තිබූ වගක් මා දැන සිටියේ නැත.
“අපි, ගසත්, එහි පලත් විනාශ කරමු;
ඔහුගේ නම, තවත් මතක් නො වන පිණිස,
ජීවතුන්ගේ දේශයෙන් අපි ඔහු සිඳ දමමු” යි ඔවුන් උපා යොදා තිබිණ.
20එහෙත්, අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස,
ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන, හදත්, සිතත් විමසන ඔබවහන්සේ,
ඔවුන්ගෙන් පළිය ගන්නවා මට දකින්නට ලැබේවා.
මන්ද මම, මගේ නඩුව ඔබ ඉදිරියේ තැබීමි.
21එබැවින්, ඔබේ දිවි තොර කරන්නට සොයමින්, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් අනාවැකි නො කියනු; නැතහොත් නුඹ අප අතින් මැරුම් කනු ඇතැ” යි කියන අනාතොත්හි මිනිසුන් ගැන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: 22එබැවින් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මෙන්න, මම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන්ගේ තරුණයින් කඩු මුවහතින් නසිනු ඇත. ඔවුන්ගේ දූ පුතුන් සාගතයෙන් මියෙනු ඇත. 23ඉතිරි ස්වල්ප දෙනකු පවා ඔවුන්ට ඉතිරි වන්නේ නැත. මන්ද ඔවුන්ගේ දඬුවමේ අවුරුද්දේ අනාතොත් මිනිසුන් පිට මම විපත්තිය පමුණුවමි.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in