YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 9:22-57

විනිසුරුවෝ 9:22-57 SCV

අබිමෙලෙක් තුන් වසරක් ඉශ්‍රායෙල් පාලනය කළේ ය. එහෙත් දෙවියන්වහන්සේ අබිමෙලෙක් හා ෂෙකෙම් නායකයින් අතරට දුෂ්ට ආත්මයක් යැවූ සේක. ෂෙකෙම් වාසීහු අබිමෙලෙක්ට ද්‍රෝහිකම් කළහ. මෙසේ වූයේ යෙරුබ්බාල්ගේ පුතුන් හැත්තෑ දෙනාට කළ සැහැසිකමට පල දීමටත් ඔවුන්ගේ ලේ ඔවුන්ගේ සහෝදර අබිමෙලෙක්ට පල දීමටත්, ඒ සහෝදරයින් මරා දැමීමට ඔහුට සහය දුන් ෂෙකෙම් පුරවාසීන්ට විපාක දීමටත් ය. ෂෙකෙම් නායකයෝ ඔහුට එදිරි ව කඳු මුදුන්වල මිනිසුන් රැක සිටවූහ. ඔවුහු එමඟින් ආ-ගිය සියල්ලන් කොල්ල කෑහ. අබිමෙලෙක්ට ඒ වග දන්වනු ලැබිණ. මේ අතර එබෙද්ගේ පුත් ගාල්, තම නෑසියන් සමඟ ෂෙකෙම් වෙත ආවේ ය. ෂෙකෙම් පුර නායකයෝ ඔහු පිට විශ්වාසය තැබූහ. ඔවුහු කෙත්-වත්වලට ගොස්, තම මිදි වතුවලින් මිදි එක් රැස් කොට, මිදි මැඩ, උත්සව පැවැත් වූහ. ඔවුහු තම දෙවියන්ගේ දෙවොලට ගොස්, කමින් ද බොමින් ද අබිමෙලෙක්ට අපහාස කළහ. එබෙද්ගේ පුත් ගාල් කතා කරමින්, “අබිමෙලෙක් කවරෙක් ද? ෂෙකෙම් අප කවුරු ද? ඇයි අප ඔහුට සේවය කළ යුත්තේ? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නො වේ ද? සෙබුල් ඔහුගේ අනුචරයා නො වේ ද? ෂෙකෙම්ගේ පියා වූ හාමොර්ට සේවය කරන්න. අප අබිමෙලෙක්ට සේවය කළ යුත්තේ කුමට ද? මේ ජනයා මගේ අණසක යටතේ වේ නම්, මම අබිමෙලෙක් පහ කර දමන්නෙමි. මම අබිමෙලෙක්ට හඬ ගසා, ‘නුඹේ සේනාව වැඩි කර ගෙන ඉදිරියට එනුයි’ කියන්නෙමි” යි කීවේ ය. එබෙද්ගේ පුත් ගාල් කී වචන ඇසූ එපුර පාලක සෙබුල් කෝපයෙන් ඇවිළිණි. ඔහු අබිමෙලෙක් වෙත රහසේ පණිවුඩකරුවන් යවමින්, “අන්න! එබෙද්ගේ පුත් ගාල් හා ඔහුගේ නෑදෑයෝ ෂෙකෙම් වෙත අවුත්, ඔබට විරුද්ධ ව නගරය කලඹවති. එබැවින් දැන් ඔබත්, ඔබේ මිනිසුනුත් මේ රැයේ ම අවුත්, බැද්දේ රහසේ රැක සිටිය යුතු ය. අලුයම් උදයේ හිරු නැගෙන විගස නැගිට, නගරයට කඩා වදින්න. එවිට ඔහු සහ ඔහුගේ මිනිසුන් ඔබට එරෙහිව නැගී එන කල, ඔබට හැකි විදියට ඔවුන්ට කරන්නැ” යි දන්වා යැවී ය. එබැවින් අබිමෙලෙක් ද ඔහු සමඟ වූ මුළු සේනාව ද ඒ රැයේ ම නැගිට, කණ්ඩායම් හතරකින් යුතු ව, ෂෙකෙම්ට එරෙහිව රහසේ රැක සිටියහ. එබෙද්ගේ පුත් ගාල් පිටතට ගොස්, නගර දොරටු පිවිසුමෙහි සිටගෙන සිටියදී, අබිමෙලෙක් ද ඔහුගේ සෙබළු ද සැඟවුණු තැන්වලින් පිටතට ආහ. ගාල් ඔවුන් දුටු කල සෙබුල්ට කතා කොට, “අන්න, කඳු මුඳුන්වල සිට ජනයා පහළ බසිනවා” යි කීවේ ය. සෙබුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් ලෙස ඔබට පෙනෙන්නේ කඳු සෙවණැලි” යි කීවේ ය. එහෙත්, ගාල් යළි කතා කරමින්, “අන්න! රට මැද සිට ජනයා බැස එනවා. පේන කියන්නාගේ ආලෝන් වෘක්ෂය පැත්තෙන් තවත් කණ්ඩායමක් එනවා” යි කීවේ ය. එවිට, සෙබුල් කතා කරමින්, “ ‘අබිමෙලෙක්ට අප සේවය කරන්නට ඔහු කවරෙක් දැ’ කී ඔබේ මහ ලොකු කතාව දැන් කෝ? ඔබ නිග්‍රහ කළ මිනිසුන් නො වේ ද මේ? දැන් පිටතට ගොස්, ඔවුන් සමඟ සටන් වදින්නැ” යි කීවේ ය. එවිට ගාල්, ෂෙකෙම් පුර නායකයින්ට පෙරටුවෙන් පිටතට ගොස්, අබිමෙලෙක් හා සටන් වැදුණේ ය. අබිමෙලෙක් ඔහු පලවා හැරියේ ය. ඔහු පලා ගියේ ය. බොහෝ දෙනෙක් දොරටු පිවිසුම දක්වා ම තුවාල ලැබ, වැටුණහ. අබිමෙලෙක් අරූමාහි නතර විය. සෙබුල් විසින් ගාල් සහ ඔහුගේ නෑයින් ෂෙකෙම්වලින් පිටතට පන්නා දමන ලදී. ෂෙකෙම් ජනයා ඊළඟ දවසේ කෙත් වතුවලට පිටතට ගියහ. ඒ වග අබිමෙලෙක්ට දන්වන ලදී. එවිට ඔහු තම සෙබළුන් කැඳවා, කණ්ඩායම් තුනකට බෙදා, සැඟවී, රැක සිටියේ ය. ජනයා නගරයෙන් පිටතට එනු බලා ඔහු, ඔවුන්ට එරෙහිව නැගිට, ඔවුන් මරා දැම්මේ ය. අබිමෙලෙක් හා ඔහු සමඟ වූ කණ්ඩායම් ඉදිරියට කඩා වැද, නගර දොරටුව අවුරා සිටගත්හ. සෙසු කණ්ඩායම් දෙක කෙත්වත් වෙත ගියවුන් පිට කඩා වැදී, ඔවුන් මරා දැමූහ. ඒ දවස මුළුල්ලේ අබිමෙලෙක් නගරයට එරෙහිව පහර දී, එය අල්ලාගෙන, එහි ජනයා මරා දැමී ය. ඉන්පසු නගරය බිඳ හෙළා, ඒ මත ලුණු විසිරවී ය. ෂෙකෙම් බළකොටු නායකයින්ට එය සැල වූ කල, ඔවුහු ඒල්-බෙරීත්ගේ දෙවොලෙහි ආරක්ෂක කොටුවට වැදුණහ. ෂෙකෙම් බළකොටුවාසී නායක සියල්ලන් එහි එක් රැස් වූ වග අබිමෙලෙක්ට සැල කරන ලදී. එවිට, අබිමෙලෙක් ද ඔහු සමඟ වූ සෙබළ සියල්ලෝ ද සල්මොන් කන්දට නැගුණෝ ය. අබිමෙලෙක් පොරොවක් අතින් ගෙන, වන ලැහැබින් අතු මිටියක් කපා, එය කර තබා ගත්තේ ය. “මා කළ දේ ඔබ දුටු පරිදි, හනික මා කළ දේ ම කරන්නැ” යි ඔහු තමා සමඟ සිටියවුනට කීවේ ය. එපරිදි ඒ හැම කෙනෙක් ම අතු මිටියක් කපාගෙන, අබිමෙලෙක් පසු පස ගියහ. ආරක්ෂක කොටුව අබියස ඒවා ගොඩ ගැසූ ඔවුහු, මිනිසුන් ඒ තුළ සිටියදී ම ඊට ගිනි තැබූහ. එබැවින් ෂෙකෙම් බළකොටුවේ වූ සියල්ලෝ පුරුෂයින් හා ස්ත්‍රීන් දහසක් පමණ දෙනා මළහ. ඉන්පසු අබිමෙලෙක් තේබේස් බලා ගොස්, තේබේස් වටලා, එය අල්ලා ගත්තේ ය. එසේ වුව ද නගර මධ්‍යයේ ශක්තිමත් බළකොටුවක් විය. එබැවින් පුරුෂයින්, ස්ත්‍රීන් හා නායක යන නගර වාසී සියල්ලෝ එහි පැන ගත්හ. ඇතුළතින් එය වසා ගත් ඔවුහු කොටු පියස්සට නැගුණහ. අබිමෙලෙක් කොටුවට ළඟා වී, ඊට පහර දුන්නේ ය. එහෙත්, ගිනිලනු පිණිස ඔහු කොටු දොරටුවට ළඟා වෙත් ම, ස්ත්‍රියක්, ඇඹරුම් ගලක අත්ගල, අබිමෙලෙක්ගේ හිස මත හෙළා, ඔහුගේ හිස්කබල බින්දා ය. වහා, තම ආයුධ දරන තරුණයාට හඬ ගැසූ ඔහු, “නුඹේ කඩුව ඇද මා මරනු! එවිට, ‘ස්ත්‍රියක් ඔහු මැරී ය’ යි ඔවුන් කියනු නැතැ” යි කීවේ ය. එවිට එම තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය. අබිමෙලෙක් මළ වග දුටු ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ ගෙවලට ගියහ. තම සහෝදරයින් හැත්තෑදෙනා මරා දැමීමෙන් අබිමෙලෙක් තම පියාට කළ දුෂ්ටකමට දෙවියන්වහන්සේ මෙසේ ඔහුට ප්‍රතිවිපාක දුන් සේක. ෂෙකෙම්හි ජනයාට ද ඔවුන්ගේ දුෂ්ටකම් ඔවුන්ගේ ම හිස පිටට පහත් වන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක. යෙරුබ්බාල්ගේ පුත් යෝතාම්ගේ ශාපය ඔවුන් පිට පතිත විණ.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 9:22-57