විනිසුරුවෝ 4:14-21
විනිසුරුවෝ 4:14-21 SCV
දෙබොරා, බාරාක් අමතමින්, “නැගිටින්න! ස්වාමින්වහන්සේ ඔබ අතට සීසෙරා යටත් කර දුන් දවස අදයි. මෙන්න! ස්වාමින්වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් ගත්තා නො වේ දැ?” යි කීවා ය. එවිට බාරාක්, දස දහසක් දෙනකු ඔහු පසුපසින් යද්දී, තාබෝර් කන්දෙන් බසින්නට වන්නේ ය. බාරාක් පෙරට යත් ම, ස්වාමින්වහන්සේ සීසෙරා ද ඔහුගේ සියලු යුද්ධ රථ හා මුළු හමුදාව ද කඩු මුවහතින් කලඹා, පලවා හළ සේක. සීසෙරා තම යුද්ධ රථයෙන් බැස, පයින් ම පලා ගියේ ය. එහෙත් බාරාක්, හරොෂෙත්-හග්ගොයිම් දක්වා යුද්ධ රථ හා සතුරු හමුදාව ලුහුබැන්දේ ය. සීසෙරාගේ මුළු හේවාපන්නය ම කඩු මුවහතින් වැටී ගියේ ය. එකකුදු ඉතිරි වූයේ නැත. කෙසේ හෝ සීසෙරා, කේනීය හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්ගේ කූඩාරමට පයින් ම පලා ආවේ ය. මන්ද, හාසොර්හි රජු වූ යාබීන් ද කේනීය හෙබෙර්ගේ පෙළපත ද අතරේ සාමය පැවතිණ. යායෙල්, සීසෙරා හමුවට පිටතට ගොස්, “ඇතුළට එනු මැනව මා ස්වාමිනි, මා වෙත එනු මැනව. භය නො වන්නැ” යි කීවා ය. එබැවින් සීසෙරා ඇය වෙත හැරී, කූඩාරම තුළට පිවිසියේ ය. ඈ පලසකින් ඔහු වැසුවා ය. ඔහු ඇය අමතමින්, “මට පිපාසයි; කරුණාකර වතුර ඩිංගක් දෙන්නැ” යි ඉල්ලී ය. ඈ, කිරි බඳුනක් ඇර, එයින් ඔහුට බොන්නට දී, යළි ඔහු ආවරණ කළා ය. ඔහු ඇය අමතමින්, “කූඩාරම් දොරකඩ සිටගන්න. යමකු අවුත්, ‘කවුරු හෝ මෙහි සිටිත් දැ?’ යි ඇසුවහොත් ‘නැත’ කියා කියන්නැ” යි කී ය. එහෙත්, හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්, කූඩාරම් කූංඤයක් ද මිටියක් ද අතින් ගෙන, හීන් සීරුවේ ඔහු අසලට ගියා ය. දැඩි වෙහෙසට පත් ව සිටි ඔහු, තද නින්දට වැටී සිටියේ ය. ඈ, කූංඤය ඔහුගේ නළල් කෙළවර පසාරු කර ගෙන, පොළොවට වැදී යන සේ ගැසුවා ය. ඔහු මළේ ය.





