විනිසුරුවෝ 3:7-31
විනිසුරුවෝ 3:7-31 SCV
ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. ඔවුහු තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර, බාල් දේවතාවුන්ටත්, අෂේරා කණුවලටත් මෙහෙ කරන්නට වන්හ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවිළ, වයඹ දිග මෙසපොතාමියාහි රජු වූ කූෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්‍රායෙල්වරු අට අවුරුද්දක් කූෂන්-රිෂාතයිම්ට මෙහෙ කළහ. එහෙත් ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට මිදුම්කරුවකු නැගිටුවා දුන් සේක. ඔහු ඔවුන් ගැලවී ය. ඒ, කාලෙබ්ගේ බාල සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය. ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු කරා පැමිණි සේක්, ඔහු ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය, යුද්ධයට ගියේ ය. ස්වාමින්වහන්සේ අරාම්හි රජු වූ කූෂන්-රිෂාතයිම්, ඔත්නියෙල්ගේ අත්වලට දුන්නෙන්, ඔත්නියෙල් කූෂන්-රිෂාතයිම් පරදා, ජය ගත්තේ ය. මෙසේ, දේශය හතළිස් අවුරුද්දක් සාමකාමී ව පැවැත්තේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මියැදුණේ ය. යළිත් ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කළහ. ස්වාමින්වහන්සේ මෝවබ් රජු වූ එග්ලොන්, ඉශ්‍රායෙල්වරුනට එරෙහිව සවිමත් කළ සේක. මන්ද ඔවුන් ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කර තිබූ බැවිනි. අම්මොන්වරුන් හා අමලෙක්වරුන් කැටිව පැමිණි ඔහු ඉශ්‍රායෙල්වරුන්ට පහර දුන්නේ ය. එසේ ඔවුහු ඉඳි ගස් නුවර අත්කර ගත්හ. ඉශ්‍රායෙල් ජනයා මෝවබ් රජු වූ එග්ලොන්ට දහඅට අවුරුද්දක් සේවය කළහ. ඉශ්‍රායෙල් ජනයා යළිත් ස්වාමින්වහන්සේට මොරගැසූයෙන්, උන්වහන්සේ ඔවුන්ට මිදුම්කරුවකු නැගිටුවා දුන් සේක. බෙන්යමින් වංශික ගේරාගේ පුත්‍රයා වූ ඔහු, වමත්කරුවකු වූ ඒහුද් ය. ඉශ්‍රායෙල් ජනයා ඔහු අත මෝවබ් රජු වූ එග්ලොන් වෙත කප්පම් යැවූහ. ඒහුද්, රියනක් දිගැති දෙමුවහත් කඩුවක් සාදා ගෙන තිබිණි. ඔහු එය තම ඇඳුමට යටින්, දකුණු කළවයෙහි බැඳ ගත්තේ ය. මෙසේ ඔහු, මෝවබ් රජු වූ එග්ලොන් වෙත කප්පම් පිළිගැන්වී ය. එග්ලොන් ඉතා තර මිනිසෙකි. කප්පම් පිළිගන්වා නිම වූ පසු, ඒහුද් ඒවා රැගෙන ආ මිනිසුන් පිටත් කර හැරියේ ය. ගිල්ගාල් අසල ගල් ප්‍රතිමාහි දී ආපසු හැරී ආ ඔහු, “අහෝ රජතුමනි, ඔබට කියන්නට රහස් පණිවුඩයක් මට තියේ” යි කී ය. එවිට, “නිශ්ශබ්ද වනු” යි රජු පැවැසූයෙන්, ඔහුගේ උපස්ථායකයින් සැවොම ඔහු අබියසින් ඉවත් වූහ. ඒහුද් ඔහු වෙත ළං වූයේ, තම උඩු මහල් සිසිල් කුටියේ ඔහු තනි ව හිඳ සිටියදී ය. ඔහු, “දෙවියන්වහන්සේ වෙතින් ඔබට පණිවුඩයක් මා ළඟ ඇතැ” යි කීවේ ය. රජු තම අසුනින් නැගී සිටිත් ම, ඒහුද් තම වමත දිගු කොට, තම දකුණු කළවයෙහි වූ කඩුව ඇද, රජුගේ බඩට ඇන්නේ ය. තලය සමඟ කඩු මිට ද කිඳා බැස, මේදයෙන් වැසී ගියේ ය. මන්ද ඔහුගේ බඩෙන් ඔහු කඩුව පිටතට ඇද්දේ නැත. අතුණු අපද්‍රව්‍ය පිටතට ආවේ ය. ප්‍රවේශ ශාලාවට පිටතට වන් ඒහුද්, උඩු මහල් කුටියේ දොරවල් වසා, අගුල් දැම්මේ ය. ඔහු පිටත් ව ගිය පසු පැමිණි රාජ සේවකයෝ උඩු මහල් කුටියේ දොරවල් වසා තිබෙනු දැක, “සිසිල් කුටියේ ඔහු ශරීර කෘත්‍ය කරනු ඇතැ” යි කීහ. ඉවසුම් නො දෙන තෙක් ඔවුහු බලා සිටියහ. එහෙත් ඔහු කුටි දොරවල් විවර නො කළ බැවින් ඔවුහු යතුරු ගෙන, ඒවා විවර කළහ. එවිට ඔවුන් දුටුවේ ඔවුන්ගේ හාම්පුතා මැරී, එහි බිම වැතිර සිටිනු ය. ඔවුන්ගේ ප්‍රමාද ය අතරතුරේ ඉවත පැනගත් ඒහුද්, ගල් ප්‍රතිමා පෙදෙස පසු කොට සෙයිරා වෙත පලා ගියේ ය. එහි ළඟා වූ ඔහු එප්‍රායිම් කඳු රටේදී හොරණෑව පිම්බේ ය. එවිට ඉශ්‍රායෙල් ජනයා ඔහු සමඟ කඳුකරයෙන් පහළට ආහ. ඔහු ඔවුන්ගේ පෙරමුණ ගත්තේ ය. ඔහු ඔවුනට කතා කරමින්, “මා අනුව එනු! මන්ද ස්වාමින්වහන්සේ නුඹලාගේ සතුරු මෝවබ්වරුන් නුඹලා අතට දී ඇතැ” යි කී ය. එබැවින්, ඔහු පසු පස, පහළට ආ ඔවුහු මෝවබ් වෙත යන යොර්දාන්-තොට අල්ලා ගත්හ. කිසිවකුටත් එගොඩ වන්නට ඔවුහු ඉඩ නුදුන්හ. එවර ඔවුහු වඩා ප්‍රබල, සවිමත් මෝවබ්වරුන් දස දහස් දෙනකු මරා දැමූහ. එකකුදු නො ගැලවිණ. ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුනට යටත් කරන ලදහ. ඉන්පසු අසූ අවුරුද්දක් දේශයේ සාමය පැවතිණ. ඔහුගෙන් පසු, අනාත්ගේ පුත් ෂම්ගර් පැමිණියේ ය. ඔහු ගව අංකුසයකින් පිලිස්තිවරුන් හයසිය දෙනකු ගසා හෙළූ තැනැත්තා ය. ඔහු ද ඉශ්‍රායෙල් ගැලවී ය.





