විනිසුරුවෝ 3:1-6
විනිසුරුවෝ 3:1-6 SCV
කානාන්හි දී කිසි යුද්ධ අත්දැකීමක් නො ලද ඉශ්‍රායෙල්හි සියලු ඉශ්‍රායෙල් ජනයා සෝදිසි කරන පිණිස, ස්වාමින්වහන්සේ විසින් ඉතිරි කරන ලද ජාතීන් මොවුහු ය. එසේ වූයේ කලින් යුද්ධ අත්දැකීම් නො ලද ඉශ්‍රායෙල් පරම්පරාවනට යුද්ධ අත්දැකීම දැනගැනීමට ඔවුන් ඊට හුරු කරන පිණිස පමණි. ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස් දෙනාත්, කානානිවරු, සීදොන්වරු හා බාල්-හෙර්මොන් කන්දේ පටන් ලෙබෝ-හමාත් දක්වා ඈතට ලෙබනොන් කඳුකරයේ විසූ හිවීවරු වෙති. මොවුන් ඉතිරි කරන ලද්දේ ඔවුන්ගේ පියවරුනට මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ දුන් උන්වහන්සේගේ ආඥාවලට ඉශ්‍රායෙල්වරුන් කීකරු වේ දැයි ඔවුන් සෝදිසි කරන පිණිස ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කානානිවරුන් ද හිත්තිවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද යෙබූසිවරුන් ද අතරේ වාසය කළහ; ඔවුන්ගේ දූවරුන් තමනට භාර්යාවන් කොට ගත් ඔවුහු තම දූවරුන් ඔවුන්ගේ පුත්‍රයින්ට දුන්හ. තවද ඔවුහු, ඒ ජාතීන්ගේ දෙවිවරුනට මෙහෙ කළහ.





