විනිසුරුවෝ 3:1-11
විනිසුරුවෝ 3:1-11 SCV
කානාන්හි දී කිසි යුද්ධ අත්දැකීමක් නො ලද ඉශ්රායෙල්හි සියලු ඉශ්රායෙල් ජනයා සෝදිසි කරන පිණිස, ස්වාමින්වහන්සේ විසින් ඉතිරි කරන ලද ජාතීන් මොවුහු ය. එසේ වූයේ කලින් යුද්ධ අත්දැකීම් නො ලද ඉශ්රායෙල් පරම්පරාවනට යුද්ධ අත්දැකීම දැනගැනීමට ඔවුන් ඊට හුරු කරන පිණිස පමණි. ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස් දෙනාත්, කානානිවරු, සීදොන්වරු හා බාල්-හෙර්මොන් කන්දේ පටන් ලෙබෝ-හමාත් දක්වා ඈතට ලෙබනොන් කඳුකරයේ විසූ හිවීවරු වෙති. මොවුන් ඉතිරි කරන ලද්දේ ඔවුන්ගේ පියවරුනට මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ දුන් උන්වහන්සේගේ ආඥාවලට ඉශ්රායෙල්වරුන් කීකරු වේ දැයි ඔවුන් සෝදිසි කරන පිණිස ය. ඉශ්රායෙල් පුත්රයෝ කානානිවරුන් ද හිත්තිවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද යෙබූසිවරුන් ද අතරේ වාසය කළහ; ඔවුන්ගේ දූවරුන් තමනට භාර්යාවන් කොට ගත් ඔවුහු තම දූවරුන් ඔවුන්ගේ පුත්රයින්ට දුන්හ. තවද ඔවුහු, ඒ ජාතීන්ගේ දෙවිවරුනට මෙහෙ කළහ. ඉශ්රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. ඔවුහු තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර, බාල් දේවතාවුන්ටත්, අෂේරා කණුවලටත් මෙහෙ කරන්නට වන්හ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්රායෙල්වරුන්ට එරෙහිව ඇවිළ, වයඹ දිග මෙසපොතාමියාහි රජු වූ කූෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු අට අවුරුද්දක් කූෂන්-රිෂාතයිම්ට මෙහෙ කළහ. එහෙත් ඉශ්රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට මිදුම්කරුවකු නැගිටුවා දුන් සේක. ඔහු ඔවුන් ගැලවී ය. ඒ, කාලෙබ්ගේ බාල සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය. ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු කරා පැමිණි සේක්, ඔහු ඉශ්රායෙල් විනිශ්චය කළේ ය, යුද්ධයට ගියේ ය. ස්වාමින්වහන්සේ අරාම්හි රජු වූ කූෂන්-රිෂාතයිම්, ඔත්නියෙල්ගේ අත්වලට දුන්නෙන්, ඔත්නියෙල් කූෂන්-රිෂාතයිම් පරදා, ජය ගත්තේ ය. මෙසේ, දේශය හතළිස් අවුරුද්දක් සාමකාමී ව පැවැත්තේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මියැදුණේ ය.





