විනිසුරුවෝ 2:12-16
විනිසුරුවෝ 2:12-16 SCV
තම පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, තමන් අවට ජනයාගේ දෙවි-දේවතාවුන් පසු පස යන්නටත්, ඔවුනට වැඳ වැටෙන්නටත් වන්හ. එසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිස්සූහ. ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු බාල් දෙවියාටත්, අෂ්තොරෙත් දේවතාවියටත් මෙහෙ කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණෙන්, ඔවුන් කොල්ල කෑ කොල්ලකරුවන් අතට උන්වහන්සේ ඔවුන් බාර දුන් සේක. ඔවුන් වටා විසූ ඔවුන්ගේ සතුරනට උන්වහන්සේ ඔවුන් විකුණූ සේක. තම සතුරනට එරෙහිව තවදුරටත් නැගී සිටින්නට ඔවුනට නො හැකි විය. ඉශ්‍රායෙල්වරුන් සටනට ගිය හැම විටෙක හානියක් වන පරිදි ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන්ට එරෙහිව පැවැත්තේ, ස්වාමින්වහන්සේ ඔවුන්ට අනතුරු අඟවා තිබූ පරිද්දෙනි. ස්වාමින්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන් සිටියේ දැඩි පීඩනයකිනි. එකල ස්වාමින්වහන්සේ එම කොල්ලකරුවන් අතින් ඔවුන් මුදා ගත් විනිසුරුවන් නැගිට වූ සේක.





