විනිසුරුවෝ 16:15-22
විනිසුරුවෝ 16:15-22 SCV
එවිට ඈ ඔහු අමතමින්, “ඔබේ හිත මා වෙත නැතිව, ‘මා ඔබට ආදරේ’ යි ඔබ කියන්නේ කොහොම ද? ඔබ මා රැවටූ තුන් වන වතාවයි මේ. ඔබේ මහා ශක්තියේ රහස මට කීවේ නැතැ” යි කීවා ය. මෙසේ නෝක්කඩු කියමින්, ඈ ඔහුට ජීවිතය එපා වන තුරු දවසක් නෑර ම ඔහුට පෙරැත්ත කළා ය. එබැවින් ඔහු රහස මුළුමනින් ඇයට කීවේ ය. “කිසි දිනෙක මගේ හිසට දැළි පිහියක් තබා නැත. මම මවු කුස පටන් දෙවියන්වහන්සේට වෙන් කෙරුණු නසිරීයයෙක්මි. මගේ හිස මුඩු කළහොත්, මගේ ශක්තිය මා හැර යයි. මා දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වෙතැ” යි කීවේ ය. අන්තිමේදී ඔහු ඒ රහස මුළුමනින් තමාට පැවසූ වග වටහා ගත් දෙලීලා, පිලිස්ති පාලකයින් වෙත පණිවුඩ යැවුවා ය. “මේ වතාවේත් එන්න. ඔහු මට හැම දෙයක් ම පැවසී යැ” යි දැන්වූවා ය. එබැවින් පිලිස්තීය පාලකයෝ, රිදී ද අතැතිව යළි ආහ. ඈ, තම උකුළේ ඔහුට නිදන්නට සලසා, මිනිසකු කැඳවා, ඔහුගේ හිසකේ හැඩපලු හත බූ ගෑවූවා ය. ඉන්පසු ඈ ඔහුට පීඩා කරන්නට වූවා ය. ඔහුගේ ශක්තිය, ඔහු හැර ගියේ ය. ඉන්පසු ඈ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට තම නින්දෙන් අවදි වූ ඔහු, “මම පිටතට ගොස්, පෙර වතාවලදී මෙන් මිදෙන්නෙමි” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ තමා හැර ගොස් ඇති වග ඔහු නො දත්තේ ය. එවිට පිලිස්තිවරු ඔහු අල්ලා, ඔහුගේ ඇස් උගුලා, ගාසා වෙත ඔහු ගෙන ගියහ. ලෝකඩ විලංගුවෙන් බඳිනු ලැබ, සිරගෙදර ඇඹරුම් වැඩෙහි ඔහු යොදවනු ලැබිණ. කෙසේ වුව ද ඔහුගේ හිස මුඩු කරනු ලැබීමෙන් පසු ඔහුගේ හිසකේ යළි වැඩෙන්නට වන්නේ ය.





