YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 16:1-31

විනිසුරුවෝ 16:1-31 SCV

දිනක් සම්සොන් ගාසා බලා ගියේ ය. එහිදී වෙසඟනක දුටු ඔහු, ඇය හා රැය ගත කිරීමට ගියේ ය. එකල “අන්න! සම්සොන් මෙහි ඇවිත්” යැයි ගාසාවරුන්ට දන්වන ලදින්, ඔවුහු එතැන වට කොට, මුළු රැය පුරා ම නගර දොරටුවෙහි රැක සිටියහ. “උදේ එළිය වැටුණු පසු අපි ඔහු මරමු” යි කියමින්, ඔවුහු නිසොල්මනේ සිටියහ. එහෙත් සම්සොන් එහි දිගා වී සිටියේ රෑ මැදියම වන තෙක් පමණි. මැදියම් රැයේ නැගී සිටි ඔහු නගර දොරටුවේ දොරවලට අත තබා, ඒ සමඟ උළුවහු කණු දෙක ද අගුළු පිටින් ම උගුල්ලා ගත්තේ ය. පසුව ඒවා කර තබා ගත් ඔහු, හෙබ්‍රොන්ට මුහුණ ලා පිහිටි කඳු මුදුනට ඒවා ගෙන ගියේ ය. මින් මද කලකට පසු, සොරේක් මිටියාවතේ දෙලීලා නම් ළඳකට ඔහු පෙම් කරන්නට වන්නේ ය. එවිට, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඇය හමුවට ගොස්, ඇය අමතමින්, “ඔහුගේ ඒ මහා ශක්තියේ රහස කවරේ ද යන්නත්, අප විසින් ඔහු බැඳ, දමනය කරන පිණිස, අපට ඔහු යටත් කර ගත හැක්කේ කෙසේ ද යන්නත්, ඔබට පෙන්වා දෙන හැටියට ඔහු පොලඹවන්න. අපි හැම කෙනෙක් ම ඔබට රිදී ෂෙකෙල් එක්දහස් එකසියය බැගින් දෙන්නෙමු” යි කීහ. එබැවින් දෙලීලා, සම්සොන් අමතමින්, “ඔබේ මහා ශක්තියේ රහස කවරේ ද, ඔබ බැඳ, දමනය කළ හැක්කේ කෙසේ ද කියා මට කියන්නැ” යි කීවා ය. සම්සොන් පිළිතුරු දෙමින්, “නො වියළූ, අමු දුනු-දිය පොට හතකින් ඔවුන් බැඳ දැමුවහොත්, මා ද දුර්වල වී අන් ඕනෑ ම මිනිසකු වගේ වේ යැ” යි කීවේ ය. එකල, පිලිස්ති පාලකයෝ නො වියළූ අමු දුනු-දිය පොට හතක් ඇය වෙත ගෙන ආහ. ඈ ඒවායින් ඔහු බැන්දා ය. ඇතුළු කුටියේ මිනිසුන් සැඟවී රැක සිටියදී, ඇය ඔහුට හඬ ගසමින්, “සම්සොන්! ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට, ගින්නට ළං කළ නූලක් සැණෙක කැඩී යන පරිදි, ඔහු පහසුවෙන් දුනු-දිය පොටවල් කඩා දැමී ය. එබැවින් ඔහුගේ ශක්තියේ රහස අනාවරණ නො වී ය. දෙලීලා ඉන්පසු සම්සොන් අමතමින්, “ඔන්න! ඔබ මා රැවටුවා; මට බොරු කීවා. හොඳයි දැන්වත් කරුණාකර මට කියන්න ඔබ බැඳ දැමිය හැක්කේ කෙසේ ද කියා” යි කීවා ය. එවිට ඔහු, “කලින් කිසි විටෙක පාවිච්චි නො කරන ලද අලුත් කඹවලින් ඔවුන් තද කොට මා බැන්දොත්, මා ද දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වේ යැ” යි කීවේ ය. එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන, ඒවායින් ඔහු බැඳ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑගෑවා ය. මිනිස්සු ඇතුළු කුටියේ සැඟවී රැක සිටියහ. එහෙත් ඔහු තම බාහු බැඳි කඹ පට, නූල්පට පරිදි කඩා දැමී ය. දෙලීලා යළි සම්සොන් අමතමින්, “මේ දක්වා ම ඔබ මා රැවටුවා. මට බොරු කීවා. ඔබ බැඳ දැමිය හැක්කේ කෙසේදැයි දැන්වත් මට කියන්නැ” යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “මගේ හිසේ හැඩපලු හත රෙදි වියනයක වියා, නඩාවෙහි එය හිරකර තැබුවහොත් අන් ඕනෑ ම කෙනකු මෙන් මා ද දුබල වෙතැ” යි කීවේ ය. එබැවින් ඔහු නිදා සිටි අතරේ දෙලීලා ඔහුගේ හිසේ හැඩපලු රෙද්දක් සේ වියා, කටුවක් ගසා හිරකොට, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට නින්දෙන් අවදි වූ සම්සොන් නඩාව ද වියමන හා වියනය ද ගලවා දැමී ය. එවිට ඈ ඔහු අමතමින්, “ඔබේ හිත මා වෙත නැතිව, ‘මා ඔබට ආදරේ’ යි ඔබ කියන්නේ කොහොම ද? ඔබ මා රැවටූ තුන් වන වතාවයි මේ. ඔබේ මහා ශක්තියේ රහස මට කීවේ නැතැ” යි කීවා ය. මෙසේ නෝක්කඩු කියමින්, ඈ ඔහුට ජීවිතය එපා වන තුරු දවසක් නෑර ම ඔහුට පෙරැත්ත කළා ය. එබැවින් ඔහු රහස මුළුමනින් ඇයට කීවේ ය. “කිසි දිනෙක මගේ හිසට දැළි පිහියක් තබා නැත. මම මවු කුස පටන් දෙවියන්වහන්සේට වෙන් කෙරුණු නසිරීයයෙක්මි. මගේ හිස මුඩු කළහොත්, මගේ ශක්තිය මා හැර යයි. මා දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වෙතැ” යි කීවේ ය. අන්තිමේදී ඔහු ඒ රහස මුළුමනින් තමාට පැවසූ වග වටහා ගත් දෙලීලා, පිලිස්ති පාලකයින් වෙත පණිවුඩ යැවුවා ය. “මේ වතාවේත් එන්න. ඔහු මට හැම දෙයක් ම පැවසී යැ” යි දැන්වූවා ය. එබැවින් පිලිස්තීය පාලකයෝ, රිදී ද අතැතිව යළි ආහ. ඈ, තම උකුළේ ඔහුට නිදන්නට සලසා, මිනිසකු කැඳවා, ඔහුගේ හිසකේ හැඩපලු හත බූ ගෑවූවා ය. ඉන්පසු ඈ ඔහුට පීඩා කරන්නට වූවා ය. ඔහුගේ ශක්තිය, ඔහු හැර ගියේ ය. ඉන්පසු ඈ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට තම නින්දෙන් අවදි වූ ඔහු, “මම පිටතට ගොස්, පෙර වතාවලදී මෙන් මිදෙන්නෙමි” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ තමා හැර ගොස් ඇති වග ඔහු නො දත්තේ ය. එවිට පිලිස්තිවරු ඔහු අල්ලා, ඔහුගේ ඇස් උගුලා, ගාසා වෙත ඔහු ගෙන ගියහ. ලෝකඩ විලංගුවෙන් බඳිනු ලැබ, සිරගෙදර ඇඹරුම් වැඩෙහි ඔහු යොදවනු ලැබිණ. කෙසේ වුව ද ඔහුගේ හිස මුඩු කරනු ලැබීමෙන් පසු ඔහුගේ හිසකේ යළි වැඩෙන්නට වන්නේ ය. මේ අතර, පිලිස්ති පාලකයෝ තමන්ගේ දෙවියන් වූ දාගෝන්ට මහා යාගයක් ඔප්පු කරන්නටත්, “අපේ දෙවියෝ අපේ හතුරා වූ සම්සොන් අපේ අත්වලට අසුකර දුන්නා” යි කියමින් ඒ ගැන උත්සව පවත්වන්නටත් එක් රැස් වූහ. ජනයා ඔහු දුටු කල, තම දෙවියන්ට ප්‍රශංසා කරමින්, “අප බොහෝ දෙනකු ඝාතන කළ, අපේ දේශයේ විනාශකයා වූ අපේ හතුරා, අපේ දෙවියන් විසින් අපේ අත්වලට හසුකර දෙන ලදැ” යි කීහ. ඔවුහු ප්‍රීතියෙන් ප්‍රමුදිත වූ කල, “අපට රැඟුම් දක්වන්නට සම්සොන් කැඳවන්නැ” යි කෑ ගැසූහ. එබැවින් සිරගෙදර සිට සම්සොන් කැඳවාගෙන එනු ලැබිණ. ඔහු ඔවුන් උදෙසා රැඟුම් දැක්වී ය. ඔවුන් කුලුනු අතරේ ඔහු සිට වූ කල, තම අත අල්ලා සිටි සේවකයාට කතා කළ සම්සොන්, “මේ දෙවොල දරා සිටින කුලුනුවලට මා හේත්තු වන පිණිස, ඒවා අතගා බලන්න ඉඩ හරින්නැ” යි ඉල්ලී ය. මේ අතර දෙවොල ස්ත්‍රීන්ගෙන් ද පුරුෂයින්ගෙන් ද පිරී තිබිණ. පිලිස්තීය පාලකයෝ සැවොම එහි වූහ. සම්සොන්ගේ රැඟුම් නරඹමින්, පුරුෂයින් හා ස්ත්‍රීන් තුන්දහසක් පමණ දෙවොලේ පියස්ස මත වූහ. එවිට සම්සොන් ස්වාමින්වහන්සේටයාච්ඤා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා සිහි කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තව එක ම වතාවක් මා ශක්තිමත් කළ මැනව. එක් ප්‍රයත්නයකින් ම මේ පිලිස්තීන්ගෙන් මගේ ඇස් දෙකේ පළිය ගැනීමට ඉඩ හළ මැනවි” යි කී ය. ඉන්පසු සම්සොන් දෙවොල දරා සිටි ප්‍රධාන කුලුනු දෙකට ළඟා වී, එකක් පිට තම දකුණත ද අනෙක පිට තම වමත ද තබා, තරයේ ඒවා අල්ලා ගත්තේ ය. එසේ කොට, “පිලිස්තීන් සමඟ මමත් මැරෙම්වා” යි කී සම්සොන් තම මුළු වැර යොදා ඒවා තල්ලු කළේ ය. එවිට එතුළ වූ පාලකයින් ද මුළු ජනයා ද පිට දෙවොල කඩා වැටුණේ ය. මෙසේ, ඔහු ජීවත් ව සිටියදී මැරූ අයගේ ගණනට වඩා තම මරණයේදී මැරූ අය ගණනින් වැඩි ය. පසුව ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඔහු ගෙන එන්නට ගියහ. එසේ ඔහු ආපසු ගෙන ආ ඔවුහු, සෝරා හා එෂ්තායොල් අතරේ පිහිටි ඔහුගේ පියා වූ මානෝවාගේ සොහොනෙහි ඔහු භූමදාන කළහ. ඔහු අවුරුදු විස්සක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 16:1-31