YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 11:1-15

විනිසුරුවෝ 11:1-15 SCV

ගිලියාදීය යෙෆ්තා, බලවත් රණශූරයකු වූයේ ය. එහෙත් ඔහු වේශ්‍යාවකගේ පුතෙකි. යෙෆ්තාගේ පියා ගිලියාද් ය. ගිලියාද්ගේ බිරිඳ ද ඔහුට දරුවන් බිහි කර දුන්නා ය. ඔවුහු වැඩුණු පසු, යෙෆ්තා පලවා හරිමින්, “අපේ පියාගේ පවුලේ උරුමයෙන් කිසිවක් නුඹට ලැබෙන්නේ නැත. නුඹ වෙනත් ගෑනියකගේ පුත්‍රයා යැ” යි කීහ. එබැවින් යෙෆ්තා තම සහෝදරයින් වෙතින් පලා ගොස්, ටෝබ් දේශයේ පදිංචි විය. කමකට නැති වූවෝ රංචුවක් ඔහු වටා රොක් වී, ඔහු සමඟ ගියහ. කලකට පසු අම්මොන්වරු ඉශ්‍රායෙලයට එරෙහිව යුද වැදුණහ. මෙසේ අම්මොන්වරුන් ඉශ්‍රායෙලයට එරෙහිව යුද වැදුණු කල, ගිලියාද් වැඩිහිටියෝ ටෝබ් දේශයෙන් යෙෆ්තා කැඳවා ගෙනෙනු පිණිස ගියෝ ය. ඔවුහු යෙෆ්තාට අඬගසමින්, “එන්න! ඇවිත් අපගේ අණ දෙන්නා වන්න, අප අම්මොන්වරුන් සමඟ යුද්ධ කරන පිණිස යැ” යි කීහ. එවිට යෙෆ්තා ඔවුනට පිළිතුරු දෙමින්, “නුඹලා මට වෛර කොට, මගේ පියාගේ නිවසින් මා පන්නා දැමුවේ නැති ද? එසේ නම් නුඹලා කරදරයේ වැටුණු විට දැන් මා සොයා එන්නේ මන්දැ?” යි ඇසී ය. ගිලියාද් වැඩිහිටියෝ යෙෆ්තා අමතමින්, “කෙසේ වෙතත්, අප දැන් ඔබ වෙත හැරී ඇත්තේ, ඔබ අප සමඟ අවුත්, අම්මොන්වරුන්ට විරුද්ධ ව සටන් කොට, අපගේ නායකයා වන පිණිසයි. ගිලියාද්හි වෙසෙන හැමගේ නායකයා වන පිණිස යැ” යි කීහ. එවිට යෙෆ්තා ඔවුනට පිළිතුරු දෙමින්, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට නුඹලා නැවත මා ගෙදර කැඳවාගෙන ගිය කල, ස්වාමින්වහන්සේ ඔවුන් මට යටත් කර දෙන කල, සැබවින් ම මම නුඹලාගේ නායකයා වන්නෙම් දැ?” යි ඇසී ය. ගිලියාද් වැඩිහිටියෝ යෙෆ්තාට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අප අතරේ සාක්ෂිකරුවාණෝ ය. අපි සැබවින් ම ඔබ කී ලෙස කරන්නෙමු” යි කීහ. එබැවින් යෙෆ්තා, ගිලියාද් වැඩිහිටියන් සමඟ ගියේ ය. ජනයා ඔවුන්ගේ නායකයා හා සෙන්පතියා කොට ඔහු පත් කර ගත්හ. යෙෆ්තා මිස්පාහි දී තම සියලු වචන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැවසී ය. ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකරුවන් යවමින්, “මගේ රටට එරෙහිව යුද්ධ කරන්නට නුඹ මා වෙත ආවේ මාත්, නුඹත් අතර කවර ආරවුලක් නිසා දැ?” යි අසා යැවී ය. අම්මොන්වරුන්ගේ රජු යෙෆ්තාගේ පණිවුඩකරුවන්ට පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්, ඊජිප්තුවේ සිට එද්දී අර්ණොන් සිට යබ්බොක් දක්වා එක දිගට යොර්දාන් දක්වා මගේ දේශය අල්ලාගෙන ඇත. දැන් සමාදානයෙන් එය සමථයකට පත් කරන්නැ” යි කීවේ ය. යෙෆ්තා, අම්මොන්වරුන්ගේ රජු වෙත යළි පණිවුඩකරුවන් යවමින්, මෙසේ දැන්වී ය. “යෙෆ්තා මෙසේ පවසයි: මෝවබ් දේශය හෝ අම්මොන්වරුන්ගේ දේශය, ඉශ්‍රායෙල් අල්ලා ගත්තේ නැත.

Video for විනිසුරුවෝ 11:1-15

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 11:1-15