YouVersion Logo
Search Icon

යාකොබ් 3:7-17

යාකොබ් 3:7-17 SCV

සෑම වර්ගයක මෘගයකු, පක්ෂියකු, උරගයකු හා මුහුදු සත්වයකු දමනය කරන්ට මිනිසාට පුළුවන; දමනය කරනු ලැබ ඇත. එහෙත් දිව දමනය කරන්නට හැකි මිනිසකු නැත. එය මරණීය විසෙන් පිරුණු කලබලකාරී නපුරකි. එයින් අපේ ස්වාමින්වහන්සේ හා පියාණන්වහන්සේට ප්‍රශංසා කරන අපි, එයින් ම දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබූ මිනිසාට ශාප කරන්නෙමු. එක ම මුවින් ප්‍රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි. එක ම උල්පතකින් කරදියත්, මිරිදියත් නික්මේ ද? මා සහෝදරයිනි, අත්තික්කා ගසට ඔලීව ගෙඩිවත්, මිදි වැලකට අත්තික්කාවත් හට ගැන්විය හැකි ද? එසේ ම කරදිය උල්පතකින් මිරිදිය නික්මවිය නො හැක. ඔබ අතරේ නැණවතා හා බුද්ධිමතා කවුරු ද? ඔහු ඒ වග ප්‍රඥාවේ මෘදුකමින් තම ක්‍රියා, තම යහපත් පැවැත්මෙන් පෙන්නුම් කරත්වා. එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාෂ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න. එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණි එකක් නො වේ. එය භූමික ය; ලෞකික ය; යක්ෂයාගෙන් ය. ඊර්ෂ්‍යාවත්, ආත්මාර්ථ අභිලාෂයත් කොතැන ද අපිළිවෙලත්, සියලු ආකාර අධම ක්‍රියාත් එතැන ම ය. එහෙත් ඉහළින් එන ප්‍රඥාව පළමු කොට පවිත්‍ර ය; ඊළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය.