යාකොබ් 3:2-18
යාකොබ් 3:2-18 SCV
මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුර ම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි. අශ්වයින් අපට අවනත කර ගැනීමට උන්ට කටකලියා දැමූ කල, මුළුමනින් උන් පාලනය කිරීමට අපට හැකි වෙයි. නැව් දිහා බලන්න; ඒවා කෙතරම් විශාල වුවත්, සැඩ සුළඟකින් ගසා ගෙන යතත්, කුඩා සුක්කානමක් මගින් නැව්පතියා රිසි ඕනෑ ම දිසාවකට හරවා පැදවිය හැකි ය. එසේ ම දිව කුඩා අවයවයකි. එහෙත් එය මහා පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොතරම් මහා වනයක් ගිනි අවුළා ද? දිව ගින්නකි. අධර්මිෂ්ඨකමේ ලෝකයකි. දිව අපේ අවයව අතර පිහිටා සිටිමින්, මුළු සිරුරේ ම ලප-පැල්ලම් ඇති කොට, මුළු මහත් ජීවිතයට ම ගිනි තබයි; එය ගිනි අවුළුවා ගන්නේ නිරයෙන් ම ය. සෑම වර්ගයක මෘගයකු, පක්ෂියකු, උරගයකු හා මුහුදු සත්වයකු දමනය කරන්ට මිනිසාට පුළුවන; දමනය කරනු ලැබ ඇත. එහෙත් දිව දමනය කරන්නට හැකි මිනිසකු නැත. එය මරණීය විසෙන් පිරුණු කලබලකාරී නපුරකි. එයින් අපේ ස්වාමින්වහන්සේ හා පියාණන්වහන්සේට ප්‍රශංසා කරන අපි, එයින් ම දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබූ මිනිසාට ශාප කරන්නෙමු. එක ම මුවින් ප්‍රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි. එක ම උල්පතකින් කරදියත්, මිරිදියත් නික්මේ ද? මා සහෝදරයිනි, අත්තික්කා ගසට ඔලීව ගෙඩිවත්, මිදි වැලකට අත්තික්කාවත් හට ගැන්විය හැකි ද? එසේ ම කරදිය උල්පතකින් මිරිදිය නික්මවිය නො හැක. ඔබ අතරේ නැණවතා හා බුද්ධිමතා කවුරු ද? ඔහු ඒ වග ප්‍රඥාවේ මෘදුකමින් තම ක්‍රියා, තම යහපත් පැවැත්මෙන් පෙන්නුම් කරත්වා. එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාෂ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න. එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණි එකක් නො වේ. එය භූමික ය; ලෞකික ය; යක්ෂයාගෙන් ය. ඊර්ෂ්‍යාවත්, ආත්මාර්ථ අභිලාෂයත් කොතැන ද අපිළිවෙලත්, සියලු ආකාර අධම ක්‍රියාත් එතැන ම ය. එහෙත් ඉහළින් එන ප්‍රඥාව පළමු කොට පවිත්‍ර ය; ඊළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය. ධර්මිෂ්ඨකමේ අස්වැන්න සාමය සලසන්නන් විසින් සාමයෙන් වපුරන ලද්දේ ය.





