යෙසායා 6:1-9
යෙසායා 6:1-9 SCV
උස්සියා රජු මැරුණු අවුරුද්දේ, ස්වාමින්වහන්සේ උසස් වූ ද උත්තම වූ ද සිංහාසනයක වාඩි වී හිඳිනු මම දිටිමි. උන්වහන්සේගේ ලෝගුවේ වාටියෙන් දේව මාලිගය පිරී ගියේ ය. උන්වහන්සේ සිටි තැනට ඉහළින් සෙරාෆ්වරු වූහ. ඒ එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. දෙකකින් ඔවුහු තම මුහුණු වසා ගත්හ; දෙකකින් තම පාද වසා ගත්හ. දෙකකින් ඔවුහු පියා සැලූහ. ඔවුහු එකිනෙකාට හඬ ගාමින්: “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, සේනාංකවල ස්වාමින්වහන්සේ! මුළු පොළොව ම උන්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරිලා” යි කීහ. ඔවුන්ගේ කටහඬේ නාදයට එළිපත්තේ අත්තිවාරම් සෙලවිණි. ගෘහය ද දුමින් වැසී ගියේ ය. එවිට මම, “මට වන විපතක මහත! මා විනාශයි: මන්ද අපවිත්‍ර තොල් ඇති මිනිසකු වන අපවිත්‍ර තොල් ඇති ජනතාවක් අතර වෙසෙන, මා මගේ ම ඇස්වලින් සේනාංකවල ස්වාමින්වහන්සේ වන රජ්ජුරුවන්වහන්සේ දුටු නිසා යැ” යි පැවසීමි. එවිට සෙරාෆ්වරුන්ගෙන් කෙනෙක්, පූජාසනය වෙතින් අඬුවකින් ගත් ඇවිළෙන ගිනි අඟුරක් අතින් ගෙන, මා වෙත පියාසලා අවුත්, එයින් මගේ මුව ස්පර්ශ කර, “මෙන්න! ඔබේ තොල්වල මෙය ස්පර්ශ විය. ඔබේ අයුතුකම පහ කරන ලදී. ඔබේ පාපය වන්දි නිවාරණ කරනු ලැබිණ” යි පැවසී ය. එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ මට ඇසිණි. “මම කවරකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවුරු දැ?” යි ඉන් කියැවිණි. එවිට, “මෙන්න මම! මා යවනු මැනවි” යි මම කීමි. තවද උන්වහන්සේ කතා කරමින්, “යන්න! ගොස්, මේ ජනතාවට මෙසේ කියන්න: “ ‘නිරතුරු අස අසා, කිසි දින වටහා නො ගන්න. නිරතුරු දැක දැක, කිසි දින තේරුම් නො ගන්න.’





