YouVersion Logo
Search Icon

යෙසායා 53

53
1අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු ද?
ස්වාමින්වහන්සේගේ බාහුව, හෙළි කරන ලද්දේ කවරකුට ද?
2මන්ද එතුමන් උන්වහන්සේ ඉදිරියේ ළා පැළයක් සේ,
වියළි පොළොවෙන් මතුවන මුලක් සේ වැඩුණේ ය.
එතුමන් දෙස බලන්නට තරම් රූපයක් හෝ තේජසක් හෝ
අපට ප්‍රියවඩන කිසිවක් එතුමන්ගේ පෙනුමෙහි තිබුණේ නැත.
3මිනිසුන් විසින් සුළු කොට තකන ලද, ප්‍රතික්ෂේප කරන ලද කෙනෙකි එතුමන්;
සෝ-දුක් උසුලන මිනිසෙකි. වධ වේදනාව හුරු වූවෙකි.
මිනිසුන් විසින් තම මුහුණු සඟවා ගන්න කෙනකු මෙන්, එතුමන් සුළු කොට තකනු ලැබූ කෙනෙකි.
අපිදු එතුමන්ට ගරු බුහුමන් නො දැක්වීමු.
4සැබවින් ම එතුමන් දරා ගත්තේ, අපේ වේදනාව ය.
උසුලා ගත්තේ අපේ සෝ-දුක් ය.
එහෙත් අප සිතුවේ, දෙවියන්වහන්සේ විසින් පහර දෙන ලද,
තලා පෙළන ලද හිංසාවට පත් කරන ලද කෙනෙකැයි කියා ය.
5එහෙත් එතුමන් තුවාල ලද්දේ, අපේ අපරාධ නිසා ය.
එතුමන් තැළුම්-පෙළුම් ලැබුවේ, අපේ අයුතුකම් නිසා ය.
අපට ශාන්තිය සැලසුනු දඬුවම එතුමන් පිට පැටවිණි.
එතුමන් ලද කසපහරවලින් අපි සුව කරනු ලැබ ඇත්තෙමු.
6අපි සැවොම බැටළුවන් සේ මංමුළා ව ගොස් ඇත්තෙමු;
අප හැම කෙනකු ම තම තමාගේ මාර්ගයට හැරී ගොසිනි;
ස්වාමින්වහන්සේ ද අප හැමගේ අයුතුකම්
එතුමන් පිට තැබූ සේක.
7එතුමාණන් පීඩාවට පත් කරන ලද නමුදු හා වධ හිංසාවට පමුණුවනු ලද නමුදු
එතුමා තම මුව විවර කළේ නැත.
මරන්නට ගෙන යන බැටළු පැටවකු විලස හා
ලොම් කපන්නන් අබියස බැටළුවකු නිහඬ ව සිටින විලස,
එතුමන් තම මුව, විවර කළේ නැත.
8එතුමන් ඉවත ගෙන යන ලද්දේ, අයුතුකමින් හා අව-නඩුවකිනි;
මගේ ජනයාගේ නොපනත්කම් නිසා
ජීවතුන්ගේ දේශයෙන් එතුමන් සිඳ දමනු ලබතැයි
එතුමන්ගේ පරපුරේ කවරකු හෝ කල්පනාවට ගත්තේ ද?
9ඔවුන් එතුමන්ගේ සොහොන සෑදූයේ දුෂ්ටයින් අතරේ ය.
මරණයේදී එතුමන් වූයේ ධනවතකු සමඟ ය.
එහෙත් එතුමන් කිසි සැහැසිකමක් කර තිබුණේ නැත;
එතුමන්ගේ මුවෙහි කිසි රැවටිල්ලක් තිබුණේ ද නැත.
10එහෙත් ස්වාමින්වහන්සේගේ කැමැත්ත වූයේ එතුමන් තළා-පෙළා, වධ වේදනාවට පත් කිරීම ය.
එතුමන්ගේ ජීවය, පව් නසන පූජාවක් වූ කල,
එතුමන් තම වංශය දකිනු ඇත. එතුමන් තම දවස් දිගු කර ගනී;
ස්වාමින්වහන්සේගේ කැමැත්ත ද එතුමන් අත සඵල වන්නේ ය.
11තම ජීවයේ කටුක වේදනාවෙන් ලද දෑ දැක,
එතුමන් තෘප්තිමත් වන්නේ ය.
මගේ ධර්මිෂ්ඨ තැනැත්තාණන්, මගේ සේවකයා, ස්වකීය දැනගැන්මෙන් බොහෝ දෙනකු ධර්මිෂ්ඨ කරනු ඇත.
ඔවුන්ගේ අයුතුකම් තමන් පිට දරා ගනු ඇත.
12එබැවින් ශ්‍රේෂ්ඨයින් අතරෙහි කොටසක් මම ඔහුට බෙදා වෙන් කර දෙමි.
බලවතුන් සමඟ එතුමා කොල්ලය බෙදා ගනු ඇත.
මන්ද මරණය දක්වා ම, එතුමන් තම ජීවිතය වැගිර වූ බැවිනි;
අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ බැවිනි.
මන්ද බොහෝ දෙනකුගේ පාප දරාගත් එතුමෝ,
අපරාධකරුවන් උදෙසා මැදහත්කමක් කළ සේක.

Currently Selected:

යෙසායා 53: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in