යෙසායා 40:15-20
යෙසායා 40:15-20 SCV
සැබවින් ම! ජාතීන් බාල්දියක දිය බිඳුවක් වැන්න. ඔවුන් ගැනෙන්නේ තරාදියක දූවිලි පරිද්දෙනි. මෙන්න, උන්වහන්සේ දිවයින් කිරා බලන්නේ, ඒවා සිහින් දූලි පොදක් සේ ඔසවමිනි. පූජාසනය ඇවිළීමට, ලෙබනොන් වනයේ ගස් මදි ය. දවන යාග පූජාවකට, එහි මෘගයින් ද ප්‍රමාණවත් නැත. උන්වහන්සේ ඉදිරියෙහි සියලු ජාතීන් ශූන්‍යතාව වැන්න. ඔවුන් ගණන් ගනු ලැබ ඇත්තේ, කිසිදු වටිනාකමක් නැතියවුන් සේ බිංදුවටත් අඩු ලංසුවෙනි. එසේ නම් ඔබ, දෙවියන්වහන්සේ සසඳන්නේ කවරකුට ද? ඔබ උන්වහන්සේ සම කරන්නේ කවර රුවකට ද? පිළිමයක්! කර්මාන්ත ශිල්පියකු එය වාත්තු කරයි. රන්කරුවකු එය රනින් වසා, ඊට රිදී මාල හැඩ ගස්වයි. එබඳු පඬුරක් පිදීමට බැරි දුගී කෙනෙක්, නො දිරන ලීයක් තෝරා ගනියි. ඉන්පසු පෙරළී නො වැටෙන පිළිමයක් ඉන් සිටුවා ගනු පිණිස, ඔහු නිපුණ කැටයම් ශිල්පියකු සොයා ගනියි.





