YouVersion Logo
Search Icon

යෙසායා 28

28
එප්‍රායිම්ට දුක් පැමිණේ
1අහෝ! එප්‍රායිම් බේබද්දන්ගේ ආඩම්බරය වූ මල් දම
සාරවත් මිටියාවතක හිස පැලඳි,
මිදි යුෂවලට වසඟවූවන්ගේ
තේජාන්විත අලංකාරය වූ පරවී යන මල!
2මෙන්න! බලවත්, සවිමතෙක් ස්වාමින්වහන්සේට සිටී.
ගල් වැහි කුණාටුවක් මෙන්, විනාශකාරී මාරුතයක් මෙන්,
ජලගැල්මක් හා බලගතු කුණාටුවක් මෙන් තම අතින්,
ඔහු පොළොව පිට ඇද හෙළනු ඇත.
3එප්‍රායිම් බේබද්දන්ගේ ආඩම්බරය වූ මල් දම,
පයින් පාගා දමනු ලැබේ.
4සාරවත් මිටියාවතක හිස පැලඳි,
තේජාන්විත අලංකාරයේ පරවී යන මල,
අකලට ඉඳුණු අත්තික්කා ගෙඩියක් මෙන් වෙයි.
යමෙක් එය දැක, අතට ගත් විගස,
ගිල දමයි.
5ඒ දවසේ සේනාංකවල ස්වාමින්වහන්සේ
තම ජනයාගෙන් ඉතිරි ස්වල්ප දෙනාට,
අලංකාර මල් දමක් ද
තේජාන්විත ඔටුන්නක් ද වන සේක.
6විනිශ්චය සඳහා හිඳ ගන්නා තැනැත්තාට,
උන්වහන්සේ යුක්තියේ ආත්මයක් ද
දොරටුව අසලදී සටන ආපසු හරවන අයට,
ශක්තියේ මූල නිධානයක් ද වන සේක.
7මොවුහු ද මිදි යුෂ මතින් වැනි වැනී යති.
සැර බීම මතින් නුහුරට ඇවිදිති.
පූජකයෝ හා දිවැසිවරු සැර බීම මතින්
වැනි වැනී යති.
ඔවුහු මිදි යුෂ මතින් සිහිවිකල ව සිටිති.
දර්ශන දකින කල, ඔවුහු ඒ මේ අත වැනෙති.
තීරණ ගැනීමේදී ඔවුහු පැකිළෙති.
8මන්ද මේස සියල්ල වමනයෙන් වැසී ඇත.
එක තැනකුදු ඒවායින් තොර නැත.
9“උන්වහන්සේ දැනගැන්ම උගන්වන්නේ කවුරුන්ට ද?
තවද ඔහු පණිවුඩය තේරුම් කරන්නේ කවුරුන්ට ද?
යන්තම් කිරි වැරූ දරුවන්ට හා
මේ දැන් තන පුඩුවෙන් ඉවතට ගත් දරුවන්ට ද?
10මන්ද ශික්ෂාව පිට ශික්ෂාව ය#28:10 ශික්ෂාව පිට ශික්ෂාව ය එනම් අර්ථ විරහිත දෙඩවිලි අදහස් කෙරේ..
ශික්ෂාව පිට ශික්ෂාව ය.
පේළිය පිට පේළිය ය.
මෙතැන ටිකකි, එතැන ටිකකි.”
11එසේ හෙයින් තේරුම් ගත නො හැකි තොල් අතරින්, අමුතු භාෂාවකින් කතා කරන ජනතාවක් මගින්
දෙවියන්වහන්සේ මේ ජනයාට කතා කරනු ඇත.
12උන්වහන්සේ මේ අයට කීවේ,
“විවේකය මෙයයි. වෙහෙස වූවෝ විවේක ගනිත්වා!”
එහෙත් ඔවුන් එය ඇසුවේ නැත.
13එබැවින් දැන්, ස්වාමින්වහන්සේගේ වචනය, ඔවුනට මෙසේ වෙයි.
ශික්ෂාව පිට ශික්ෂාව ය.
පේළිය පිට පේළිය ය.
මෙතැන ටිකකි, එතැන ටිකකි.
එසේ වන්නේ ඔවුන් ගොස්, ආපස්සට වැටී,
තුවාල වී, උගුලට හසු වී, අල්ලා ගනු ලබන පිණිස ය.
14එබැවින් යෙරුසලමෙහි මෙම ජනයා පාලනය කරන ගරහන්නනි,
ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු.
15නුඹලා උදම් අනමින් කියා සිටියේ, “මරණය සමඟ අපි ගිවිසුමක් කළෙමු.
ෂෙයෝලය#28:15 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය සමඟ අපි එකඟත්වයට පැමිණියෙමු.
විනාශයේ සබුක්කු පහර ගලා හැලෙන කල,
අපට ළං වීමට ඊට නුපුළුවන.
මන්ද බොරුව අපේ රැකවරණය ද
මුසාව අපේ සැඟවුම් පොළ ද කර ගත් බැවිනි” කියා ය.
16එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි:
“මෙන්න! මම සියොනෙහි අත්තිවාරමක් වශයෙන් ගලක්, අත්දුටු ගලක් තබමි.
එය නියත අත්තිවාරමක් වන අනර්ඝ කොනේ ගලකි.
විශ්වාසය තබන්නා,
කිසි කලෙකත් සසල නො වේ.
17මම, යුක්තිය, මිනුම් කෝදුව වශයෙන් ද
දමිටුකම, ලඹය වශයෙන් ද ගන්නෙමි.
මුසාවේ ඔබේ රැකවරණය, ගල් වැස්සෙන් වැනසී යනු ඇත.
ඔබේ සැඟවුම් පොළ යටකරමින්, ජලය ගලා යනු ඇත.
18එවිට මරණය සමඟ ඔබේ ගිවිසුම නිෂ්ප්‍රභ කෙරේ.
ෂෙයෝලය සමඟ වූ ඔබේ එකඟත්වය පවතින්නේ නැත.
විනාශයේ සබුක්කු පහර ගලා දිවෙන කල,
ඉන් ඔබ මඩිනු ලබනු ඇත.
19එය එන සෑම විට ම, එයින් ඔබ අල්ලාගෙන යනු ඇත.
උදයක් පාසා උදය ද දහවලේ හා රැයේ ද
එය ඔබ හරහා යනු ඇත.”
මෙම පණිවුඩය වටහාගැන්ම,
සැබෑ භීතිය ගෙන එයි.
20මන්ද දිගාවීමට ඇඳ කොහෙත් ම දිග මදි ය;
පොරවා ගැනීමට පොරෝනය කොහෙත් ම පළල මදි ය.
21මන්ද පෙරාසීම් කන්දේදී මෙන් ස්වාමින්වහන්සේ නැගී සිටින සේක.
ගිබෙයොන් තැන්නේදී මෙන් තමන් ම පොලඹවා ගන්නා සේක.
තම වැඩය, කරන්නට, උන්වහන්සේගේ වැඩය අමුතු ය.
තම කාරිය කරන්නට, උන්වහන්සේගේ කාර්යය අපූර්ව ය.
22දැන් ඔබගේ සමච්චලය නවතන්න,
බැඳුම්, වඩා තද නො වනු පිණිස.
මන්ද මුළු දේශයට එරෙහිව නියම කරන ලද විනාශය,
ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේගෙන් මම අසා ඇත්තෙමි.
23සවන් දෙන්න, මගේ කටහඬ අසන්න;
අවධානයෙන් යුතු ව, මගේ කතාව අසන්න.
24වපුරන්නට බිම හාන කෙනෙක් නැවතීමක් නැතිව, හාමින් ම සිටිනවා ද?
ඔහු දිගින් දිගට ම, පස පෙරළමින්, පෝරු ගාමින් සිටිනවා ද?
25පොළොව මතු පිට සමතලා කළ පසු,
ඔහු කළුදුරු වපුරා, සුදුදුරු ඉසින්නේ නැති ද?
ඔහු තිරිඟු පෙළට සිටුවා,
යව සුදුසු තැන්හි ද
තණහාල් එහි මායිම්වල ද සිටුවන්නේ නැති ද?
26මන්ද ඔහුට හරි උපදෙස් ලැබී ඇත.
ඔහුගේ දෙවියන්වහන්සේ ඔහුට උගන්වන සේක.
27කුළුගෙඩියකින් කළුදුරු පාහින්නේ නැත.
කරත්ත රෝදයකින් සුදුදුරු තලන්නේ නැත.
කළුදුරු පාහිනු ලබන්නේ කෝදුවකිනි;
සුදුදුරු ලීයකිනි.
28රොටි සාදනු සඳහා ධාන්‍ය අඹරා ගත යුතු වේ.
යමකු සදහට ම එය පාග, පාගා සිටින්නේ නැත.
ඔහු තම ගොයම් මඩින රථ රෝද ඒ මත ගෙන ගියත්,
ඔහුගේ අශ්වයින් ඒවා කුඩුකර දමන්නේ නැත.
29මේ සියල්ල පැමිණෙන්නේ,
උපදේශයෙන් ආශ්චර්යවත් වූත්, ප්‍රඥාවෙන් විශිෂ්ට වූත්,
සේනාංකවල ස්වාමින්වහන්සේ වෙතිනි.

Currently Selected:

යෙසායා 28: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in