YouVersion Logo
Search Icon

යෙසායා 2

2
ස්වාමින්වහන්සේගේ කන්ද
1යූදා සහ යෙරුසලම සම්බන්ධ ව, ආමෝස්ගේ පුත්‍ර යෙසායාගේ වචනය මේ ය:
2අවසන් දවස්හි දී
ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද,
කඳු අතරේ උසස් ම කන්ද වශයෙන් පිහිටුවනු ලබන්නේ ය.
කඳු ගැටවලට ඉහළින් එය ඔසවනු ලැබේ.
සියලු ජාතීහු ඒ වෙත ගලා එන්නෝ ය.
3බොහෝ ජනයා අවුත්,
“එන්න, අපි ස්වාමින්වහන්සේගේ කන්දට නැග යමු.
යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයට යමු.
ස්වකීය මාවත්වල අප පියමං කරන පිණිස,
උන්වහන්සේ තම මාර්ග අපට උගන්වනු ඇතැ” යි කියනු ඇත.
මන්ද ව්‍යවස්ථාව, සියොන වෙතින් ද
ස්වාමින්වහන්සේගේ වචනය, යෙරුසලම වෙතින් ද පිටත් ව එන්නේ ය.
4උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චය කරන සේක.
බොහෝ ජනයින් උදෙසා ආරවුල් සමථය කරන සේක.
ඔවුන් තම කඩුපත්වලින්, නඟුල් තල ද
තම හෙල්ලවලින්, කප්පාදු කැති ද තලාගනු ඇත.
ජාතියකට එරෙහිව ජාතියක් අසිපත් දරන්නේවත්,
තවත් ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.
5එම්බා යාකොබ් වංශය, එන්න!
අපි ස්වාමින්වහන්සේගේ ආලෝකයෙහි ඇවිදිමු.
ස්වාමින්වහන්සේගේ දවස
6ඔබවහන්සේ, යාකොබ් වංශය වන ඔබේ ජනතාව
ප්‍රතික්ෂේප කර ඇත.
ඔවුන් පෙරදිග මිථ්‍යාවලින් පිරිලා ය.
පිලිස්තිවරුන් මෙන් ඔවුහු පේන කියති.
විදෙස්සන් සමඟ අත්වැල් බැඳ ගනිති.
7ඔවුන්ගේ දේශය රනින් ද රිදීයෙන් ද පුරවා ඇත;
ඔවුන්ගේ වස්තුවට නිමක් නැත.
ඔවුන්ගේ දේශය අශ්වයින්ගෙන් පිරී ඇත.
ඔවුන්ගේ අශ්ව-රථ ද නිමක් නැත.
8ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත.
ඔවුහු තම අතැඟිලිවලින් තැනූ,
තම දෑතේ වැඩ ඉදිරියේ ම වැඳ වැටෙති.
9එබැවින් මිනිසා පහත් කරනු ලැබේ;
සියලු දෙනා යටහත් කරවනු ලැබේ.
ඔවුනට කමා නො කරන්න.
10 ස්වාමින්වහන්සේගේ භයංකාරත්වය ඉදිරියෙන් ද
උන්වහන්සේගේ මහානුභා ශෝභාව වෙතින් ද අහක් ව,
පර්වතවලට වැද, දූවිල්ලේ සැඟවෙන්න.
11මිනිසාගේ උඩඟු බැල්ම යටත් කරනු ලැබේ.
මිනිසුන්ගේ මහ අහංකාරය යටහත් කරනු ලැබේ.
ඒ දවසේ ස්වාමින්වහන්සේ පමණක් ම උසස් කරනු ලබන සේක.
12සේනාංකවල ස්වාමින්වහන්සේට දවසක් ඇත.
ඒ, සියලු අහංකාරීන්ට හා උඩඟු වූවන්ට එරෙහිව ය.
උසස් කර ගනු ලබන සියල්ලනට එරෙහිව ය.
එය පහතට හෙළනු ලැබේ.
13ඒ, උසස් කරනු ලැබුවාවූත්, උඩඟුවූත් ලෙබනොන්හි සියලු දේවදාර ගස්වලට එරෙහිව ය.
බාෂාන්හි සියලු ආලෝන් ගස්වලට එරෙහිව ය.
14උස් කඳු සියල්ලට හා
නැගී සිටින සියලු කඳු ගැටවලට එරෙහිව ය.
15හැම උස් කුලුනකට හා
හැම ආරක්ෂිත පවුරකට එරෙහිව ය.
16තර්ෂිෂ්හි හැම නැවකට#2:16 තර්ෂිෂ්හි හැම නැවකට හෙවත් හැම වෙළඳ නැවකට හා
අලංකාර හැම යාත්‍රාවකට එරෙහිව ය.
17මිනිසාගේ උඩඟුව පහත් කරනු ලැබේ.
මිනිසුන්ගේ අහංකාරය ද යටහත් කරනු ලැබේ.
ඒ දවසේ ස්වාමින්වහන්සේ පමණක් ම උසස් කරනු ලබන සේක.
18පිළිම රූප සහමුලින් ම අන්තර්ධාන වනු ඇත.
19උන්වහන්සේ පොළොව භය ගන්වන්නට නැගිටින කල,
ස්වාමින්වහන්සේගේ භයංකාරත්වය ඉදිරියෙන් ද
උන්වහන්සේගේ මහානුභා ශෝභාව වෙතින් ද
පර්වතවල ගුහාවලටත්,
පොළෝ කුහරවලටත් ජනයා ඇතුළු වනු ඇත.
20තමන් වැඳ වැටෙන පිණිස ඔවුන් සාදා ගත්
ඔවුන්ගේ රිදී පිළිම හා ඔවුන්ගේ රන් පිළිම,
ඒ දවසේ මිනිස්සු ඌරුමීයන්ට හා වවුලන්ට
ඉවත වීසි කර දමන්නේ,
21පොළොව භය ගන්වන්නට උන්වහන්සේ නැගිටින කල,
ස්වාමින්වහන්සේගේ භයංකාරත්වය ඉදිරියෙන් ද
උන්වහන්සේගේ මහානුභා ශෝභාව වෙතින් ද
පර්වතවල බිංගෙවලටත්,
පර්වත කුටිවල විවරවලටත් රිංගාගනු පිණිස ය.
22නාස් පුඩුවල හුස්ම ටික පමණක් ඇති
මිනිසා කෙරේ සැලකීම නවතන්න.
මන්ද කුමක් ද ඔහුට ඇති ඔහුගේ වටිනාකම?

Currently Selected:

යෙසායා 2: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in