YouVersion Logo
Search Icon

හොෂෙයා 11:1-12

හොෂෙයා 11:1-12 SCV

ඉශ්‍රායෙල්, දරුවකු ව සිටියදී, මම ඔහුට ප්‍රේම කළෙමි. මම මගේ එම පුතණුවන් ඊජිප්තුවෙන් කැඳවා ගතිමි. එහෙත් ඔවුන් කැඳවනු ලැබීම වැඩි වූ කල, ඔවුහු තව තවත් ඈත් වූහ. ඔවුහු බාල් දෙවිවරුන්ට යාග පූජා ඔප්පු කරමින්, පිළිම රූපවලට සුවඳ දුම් දැවූහ. එනමුත් එප්‍රායිම්ට ඇවිදින්න ඉගැන්වූයේ මම ය. මම ඔවුන් අත්වලින් අල්ලාගෙන ගියෙමි. එහෙත් ඔවුන් සුව කළේ මා වග ඔවුන් දන්නේ නැත. මානව දයාවේ රැහැනින් හා සෙනෙහසේ බැම්මෙන් බැඳී, මම ඔවුන්ට මග පෙන්වීමි; මම ඔවුන්ගේ කර මතින් වියගහ උස්සා, ඔවුන්ට කවනු-පොවනු පිණිස, පහතට නැමුනෙමි. ඔවුන් ආපසු ඊජිප්තු දේශයට නො යනු ඇත් ද? අසිරියාව ඔවුන්ගේ රජු නො වනු ඇත් ද? මන්ද මා වෙත ආපසු ඒම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. අසිපත ඔවුන්ගේ නගරවලට එරෙහිව වියරු වී, ඔවුන්ගේ දොරටුවල අගුල් බිඳ, ඔවුන්ගේ සැලසුම් වනසාලනු ඇත. මවෙතින් ඉවත හැරීමට මගේ ජනයා යොමු වී ඇත. ඔවුන් මහෝත්තමයාණන්ට හඬ ගැසුව ද, ඔවුන් එසවීමේ අදහසක් උන්වහන්සේ තුළ නැත. “එම්බා එප්‍රායිම්, මම කෙලෙස නුඹ අත්හරිම් ද? එම්බා ඉශ්‍රායෙල්, මම කෙලෙස නුඹ බාර දෙම් ද? අද්මා නුවරට කළ දේ මම කෙලෙස නුඹට කරම් ද? නුඹට සෙබොයිම් නුවර පරිදි කරන්නේ කෙසේ ද? මගේ හදවත මා තුළෙහි තෙත් වේ: මගේ අනුකම්පාව උණුසුම් ව නැග ඒ. මගේ රුදුරු කෝපය මා ක්‍රියාවට නංවන්නේ නැත; යළි මා එප්‍රායිම් විනාශ කරන්නේ නැත. මන්ද මම දෙවියන්වහන්සේ ය; මා මිනිසකු නො වේ. ඔබ අතරේ සිටින ශුද්ධ තැනැත්තාණෝ ය. මම උදහසින් නො පැමිණෙන්නෙමි. ඔවුන් ස්වාමින්වහන්සේ පසු පස යනු ඇත. උන්වහන්සේ සිංහයකු සේ ගර්ජනා කරන සේක. උන්වහන්සේ ගර්ජනා කරන කල, උන්වහන්සේගේ දරුවෝ බටහිර සිට වෙවුලමින් එන්නෝ ය. ඔවුන් වෙවුලමින් එන්නේ, ඊජිප්තුවේ සිට එන පක්ෂීන් ලෙසිනි; අසිරියාවේ සිට එන පරෙවියන් ලෙසිනි. මම ඔවුන්ගේ ම ගෙවල ඔවුන් යළි පදිංචි කරවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එප්‍රායිම් බොරුවලින් ද ඉශ්‍රායෙල් වංශය ප්‍රයෝගයෙන් ද මා වට කළෝ ය. එහෙත් යූදා, ශුද්ධ තැනැත්තාණන්ට විශ්වසනීය ව දෙවියන්වහන්සේ සමඟ තවමත් ගමන් කරයි.

Related Videos

Free Reading Plans and Devotionals related to හොෂෙයා 11:1-12