YouVersion Logo
Search Icon

උත්පත්ති 9:1-17

උත්පත්ති 9:1-17 SCV

ඉන්පසු නෝවාටත්, ඔහුගේ පුතුන්ටත් ආශිර්වාද කළ දෙවියන්වහන්සේ, ඔවුන් අමතමින්, “ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වී, පොළොව පුරවාලන්න. ඔබ කෙරෙහි බියත්, තැතිගැන්මත් පොළොවේ සියලු සතුන් ද සියලු අහස් පක්ෂීන් ද හැම උරගයකු ද මුහුදේ සියලු මසුන් ද වෙත පවතිනු ඇත. ඔබගේ අත්වලට උන් බාර දී ඇත. සජීව, එහා මෙහා යන සියල්ල ඔබට ආහාර පිණිස වනු ඇත. මම ඔබට හරිත පලා දුන් සේ, දැන් මේ හැම දෙයක් ම දෙන්නෙමි. “එහෙත්, උන්ගේ ජීවය වන රුධිරය සහිත ව උන්ගේ මාංසය ඔබ අහරට නො ගත යුතු ය. ඔබගේ ජීව රුධිරය ගැන ගණන් දීමක් සත්තකින් ම මම නියම කරන්නෙමි. කවර සතකුගෙන් වුව ගණන් දීමක් මම නියම කරන්නෙමි. එසේ ම සෑම මිනිසකුගෙන් ම තවත් මිනිසකුගේ ජීවය ගැන මම ඔහුගේ ජීවය අය කරන්නෙමි. “කවරකු වුව, මිනිස් ලේ වගුරුවයි නම්, ඔහුගේ ලේ ද මිනිසකු විසින් ම වගුරුවනු ලැබේ. මන්ද දෙවියන්වහන්සේ මිනිසා මවන ලද්දේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙනි. ඔබ සඵල ව, ගණනින් වැඩි වර්ධන වන්න. පොළොවෙහි ජනාකීර්ණ වී, එහි වැඩි වර්ධන වන්න.” ඉන්පසු නෝවා ද ඔහුගේ පුතුන් ද ඇමතූ දෙවියන්වහන්සේ, “මෙන්න දැන් මා, මගේ ගිවිසුම පිහිටුවන්නේ ඔබ සමඟින් හා ඔබෙන් පසු, ඔබෙන් පැවත එන්නන් සමඟිනි. ඔබ සමඟ නැවෙන් පිටතට පැමිණි පක්ෂීන්, ඇති කරන සතුන් හා සියලු වන සතුන් යන මිහි පිට වෙසෙන සජීව හැම සතකු සමඟිනි. මගේ ගිවිසුම මම ඔබ සමඟ පිහිටුවමි. යළි කිසි කලෙක සියලු ජීවීන් ජලගැල්මකින් සිඳලනු නො ලැබේ. පොළොව වනසන ජලගැල්මක් මතු කවර කලෙක හෝ ඇති වන්නේ නැතැ” යි කී සේක. තවදුරටත් කතා කළ දෙවියන්වහන්සේ, “ඔබත්, ඔබ හා සිටින ජීවමාන හැම ජීවියකුත්, මාත් අතරේ මා පිහිටු වන ගිවිසුම වන මතු සියලු පරම්පරා උදෙසා වන ගිවිසුමේ ලකුණ මෙයයි. මගේ දේදුන්න මම වලාකුළෙහි තබා ඇත්තෙමි. මා හා පොළෝ වාසීන් අතර ගිවිසුමේ ලකුණ එයයි. පොළොවට ඉහළින් මා වලාකුළු ගෙනෙන කවර විටෙක වුව, ඒ වලාවන්හි දේදුන්න දිස්වන කල, ඔබ සමඟ ද හැම වර්ගයකට ම අයත් ජීවමාන සියලු සතුන් සමඟ ද මා කළ මගේ ගිවිසුම මම සිහි කරන්නෙමි. යළි කවරදාක වත් සියලු ජීවිත විනාශ කරනු පිණිස ජලය, ජලගැල්මකට පත් නො වන්නේ ය. වලාවන්හි දේදුන්න දිස්වන කවර විටෙක වුව, මම ඒ දෙස බලා, දෙවියන්වහන්සේත්, මිහි පිට සියලු වාර්ගික ජීවමාන සියලු සත්වයිනුත් අතරේ වූ සදාතන ගිවිසුම සිහි කරන්නෙමි” යි පැවසූ සේක. එබැවින්, නෝවා ඇමතූ දෙවියන්වහන්සේ, “මා හා මිහි පිට ජීවමාන සියල්ලන් අතරේ මා විසින් පිහිටු වන ලද ගිවිසුමේ ලකුණ මේ යැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 9:1-17