උත්පත්ති 47:13-27
උත්පත්ති 47:13-27 SCV
සාගතය කොතරම් සැහැසි වී ද යත්, දේශයේ කොතැනකවත් ආහාර නො වී ය. සාගතයෙන් ඊජිප්තු දේශයත්, කානාන් දේශයත් නැති නාස්ති වී ගියේ ය. යෝසෙප් ඊජිප්තු දේශයේ ද කානාන් දේශයේ ද වූ සියලු මුදල්, ජනයා මිලයට ගත් ධාන්‍යවලට ගාස්තුව වශයෙන් එකතු කර ගත්තේ ය. ඔහු ඒවා පාරාවෝගේ මාලිගාවට ගෙනාවේ ය. ඊජිප්තු දේශයේ හා කානාන් දේශයේ ජනයා අත වූ මුදල් වියදම් වූ පසු, සියලු ඊජිප්තුවරු යෝසෙප් වෙත පැමිණ, “අපට ආහාර දෙන්න. ඔබේ ඇස් හමුවේ අප මැරී යන්නේ කුමට ද? මන්ද අපේ මුදල් ඉවර වෙලා!” යි පැවසූහ. එවිට යෝසෙප්, “එසේ නම් ඔබේ සත්ව සම්පත ගෙනෙන්න. නුඹලාගේ මුදල් ඉවර වී ඇති නිසා, නුඹලාගේ සත්ව සම්පතට හුවමාරු වශයෙන් මම නුඹලාට ආහාර දෙන්නම්” යි කීවේ ය. එබැවින් ඔවුහු තමන්ගේ සතුන්, යෝසෙප් වෙත ගෙන ආහ. යෝසෙප් ඔවුන්ගේ අශ්වයින්ට ද ඔවුන්ගේ එළුවන් හා බැටළුවන්ට ද ගවයින් හා බූරුවන්ට ද හුවමාරු වශයෙන් ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙසේ, ඔවුන්ගේ මුළු සත්ව සම්පතට හුවමාරු වශයෙන් ආහාර සපයා, එම වසරේ ඔහු ඔවුන් පෝෂ්‍ය කළේ ය. එම වසර ගෙවී ගිය පසු, ඔවුහු ඊළඟ වසරේ ඔහු වෙත අවුත්, “අපගේ මුදල් සියල්ල ඉවර වී ඇති වගත්, අපගේ සත්ව සම්පත ඔබට අයිති වූ වගත් අපගේ ස්වාමියාගෙන් වසන් කරන්නට අපට නුපුළුවන. දැන් අපගේ ම ශරීර හා අපගේ ඉඩම් මිස, අප ස්වාමියාණන්ට දිය හැකි කිසිවක් ඉතිරි වී නැත. ඔබගේ ඇස් හමුවේ අපත්, අප සමඟ අපගේ ඉඩ කඩම් වැනසී යන්නේ කුමට ද? ආහාරවලට හුවමාරු වශයෙන් අප ද අපගේ ඉඩම් ද මිලයට ගන්න. එවිට අපගේ ඉඩම් සමඟ අප පාරාවෝගේ දාස භාවයට පත් වී, අප ජීවත් වන පිණිසත්, නො නස්නා පිණිසත්, දේශය පාළු වී නො යන පිණිසත් අපට බීජ දෙන්නැ” යි කීහ. මෙසේ යෝසෙප් ඊජිප්තුවේ සියලු ඉඩම් පාරාවෝට මිලයට ගත්තේ ය. ඊජිප්තුවරු හැම දෙනා තමන්ගේ ඉඩම් විකුණූහ. මන්ද සාගතය ඔවුන්ට අතිශයෙන් සැහැසි විය. දේශය පාරාවෝට හිමි විය. යෝසෙප් ඊජිප්තුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ජනයා, දාස භාවයට යටත් කළේ ය. එසේ වුව ද ඔහු පූජකයින්ගේ ඉඩම් මිලයට ගත්තේ නැත. පාරාවෝගෙන් ඔවුන්ට නිත්‍ය සලාකයක් ලැබිණ. ඔවුන් යැපුණේ පාරාවෝ ඔවුන්ට දුන් සලාකයෙනි. ඔවුන් තම ඉඩම් විකුණුවේ නැත. යෝසෙප් ජනතාව අමතමින්, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩම් ද පාරාවෝට මිලයට ගත්තෙමි. පොළොව වැපිරීමට මෙන්න නුඹලාට බීජ. අස්වනු ලැබුණු කල, එයින් පහෙන් පංගුවක් පාරාවෝට දිය යුතු ය. ඉතිරි පහෙන් පංගු හතර ඔබට ය. ඒවා කෙත්වලට බීජ සඳහාත්, ඔබගේ ද ඔබගේ පවුල්වල අයගේ ද ඔබේ දරුවන්ගේ ද ආහාර සඳහාත් යැ” යි කීවේ ය. එවිට ඔවුහු, “ඔබතුමා අපගේ ජීවිත ගැලවී ය. අපගේ ස්වාමියාගේ ඇස් හමුවේ අපට කරුණාව ලැබේවා. අපි, පාරාවෝගේ දාස භාවයට පත් වන්නෙමු” යි කීහ. මෙසේ අද දවස දක්වාත් ඊජිප්තු දේශයෙහි බල පැවැත්වෙන පරිදි, නිෂ්පාදනයෙන් පහෙන් පංගුව පාරාවෝට ය යන නියමය යෝසෙප් විසින් ස්ථාපිත කරන ලදී. පාරාවෝට හිමි නො වූයේ පූජකයින්ගේ ඉඩම් පමණි. මේ අතර ඉශ්‍රායෙල්, ඊජිප්තු දේශයේ ගෝෂෙන් පළාතේ වාසය කළෝ, එහි ඉඩම් අත්කර ගෙන, වඩ වඩා සඵල ව ගණනින් ද බොහෝ සේ වැඩි වර්ධන වූහ.





