උත්පත්ති 41:37-44
උත්පත්ති 41:37-44 SCV
එම යෝජනාව පාරාවෝටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත් හොඳ වග පෙනී ගියේ ය. එබැවින් පාරාවෝ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ ආත්මයෙන් හෙබි, මේ මිනිසාට වඩා සුදුස්සකු අපට සොයාගත හැකි දැ?” යි ඇසුවේ ය. මෙසේ පාරාවෝ යෝසෙප් අමතමින්, “දෙවියන්වහන්සේ මේ හැම දේ ඔබට දන්වා ඇති බැවින්, ඔබ තරම් දැනුම් තේරුම් ඇති, ප්‍රඥාසම්පන්න කෙනකු තවත් නැත. මගේ මාලිගයේ ආධිපත්‍යය ඔබට පැවරේ. මගේ මුළු මහත් ජනතාව, ඔබේ නියෝගවලට යටත් ය. සිංහාසනයේදී පමණක්, මම ඔබට වඩා උසස් ව සිටිමි” යි පැවසී ය. පාරාවෝ යෝසෙප්ට කතා කොට, “මෙන්න, මුළු ඊජිප්තු දේශය ම මම ඔබට පවරමි” යි කීවේ ය. ඉන්පසු ඔහු තම ඇඟිල්ලේ වූ තම පේරැස් මුද්ද ගලවා, එය යෝසෙප්ගේ ඇඟිල්ලේ දැම්මේ ය. සිහින් හණ පිළියෙන් කළ ඇඳුම් ඔහුට හඳවා, ඔහුගේ ගෙල වට රන් මාලයක් ද පළඳවා, තමාගේ දෙවැනි රාජකීය අශ්ව රථයේ ඔහු නංවා, ගමන් කරවී ය. ඔහුට පෙරටුවෙන් මිනිස්සු, “දණ නමව්” කියමින් හඬ නැගූහ. මෙසේ පාරාවෝ, මුළු ඊජිප්තු දේශයට ම අධිපතියා කොට යෝසෙප් පත් කළේ ය. තවද පාරාවෝ යෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි. එහෙත් ඔබේ අවසරයක් නැතිව කිසිවකුත් මේ මුළු ඊජිප්තුව තුළ තමාගේ අතවත්, පයවත් ඔසවන්නේ නැතැ” යි කීවේ ය.





