YouVersion Logo
Search Icon

උත්පත්ති 41:1-57

උත්පත්ති 41:1-57 SCV

මෙයින් පුරා වසර දෙකකට පසු, පාරාවෝ සිහිනයක් දුටුවේ ය. නයිල් ගඟ අසබඩ තමා සිටගෙන සිටියදී, මෙන්න! නයිල් ගංගාවෙන් මතු ව ආ සැපවත්, තර එළදෙන්නු හත් දෙනෙක් වූහ. උන් බට පඳුරු අතරේ තණ කමින් සිටියහ. ඉන්පසු මෙන්න! අවලක්ෂණ, කෙසඟ වෙනත් එළදෙන්නු හත් දෙනෙක් නයිල් ගඟින් නැගී අවුත්, ගං ඉවුරේ සිටියවුන් පසෙක සිටගත්හ. ඒ අවලක්ෂණ, කෙසඟ එළදෙන්නු, අර සැපවත්, තර එළදෙනුන් හත්දෙනා කා දැමූහ. එවිට පාරාවෝ ඇහැරුණේ ය. යළි නින්දට වැටුණු ඔහු දෙවන වරටත් සිහිනයක් දුටුවේ ය. මෙන්න! තනි ගොයම් ගසක හටගත්, පිරිපුන්, සාරවත් වී කරල් හතක් විය. ඒවාට පසුව මෙන්න! කේඬෑරි වී, පෙරදිග සුළඟින් වියළී ගිය තවත් කරල් හතක් පැන නැගිණි. ඉන්පසු ඒ කේඬෑරි කරල් විසින් පිරිපුන්, සාරවත් කරල් හත ගිල දමනු ලැබී ය. එවිට ම පාරාවෝට ඇහැරුණි. එය සිහිනයක් බව ඔහු තේරුම් ගත්තේ ය. පසු දින උදෑසන ඔහුගේ සිත කැලඹී තිබිණි. එබැවින් ඔහු ඊජිප්තුවේ සියලු ඉන්ද්‍රජාලිකයින් හා ප්‍රාඥයින් කැඳවා යැවී ය. පාරාවෝ තම සිහින ඔවුන්ට පැවසී ය. එහෙත් පාරාවෝට ඒවායේ අරුත් පහදා දීමට කිසිවකුටත් නො හැකි විය. එවිට ප්‍රධාන කුසලාන දරන්නා පාරාවෝට කතා කරමින්, “මගේ වරද අද දවසේ මට සිහිපත් වෙයි. වරක් පාරාවෝ තම සේවකයින් හා කිපී, මා ද ප්‍රධාන රොටි සාදන්නා ද ආරක්ෂක සෙන්පතිගේ නිවසේ සිරගත කළා. අප දෙදෙනා එක ම රැයක සිහින දුටුවා. ඒ එක් එක් සිහිනයට ඊට ම අදාළ අරුතක් තිබුණා. හෙබ්‍රෙව් තරුණයෙක් එහි අප සමඟ සිටියා. ඔහු ආරක්ෂක සෙන්පතිගේ සේවකයෙක්. අපගේ සිහින අප ඔහුට පැවසූ කල ඔහු ඒවායේ අර්ථ අපට පහදා දුන්නේ, අප එක් එක් කෙනාගේ සිහිනවලට අදාළ පරිද්දෙනි. කරුණු සිදුවූයේත් ඔහු අපට ඒවායේ අරුත් පහදා දුන් අයුරින්මයි. මම මගේ නිලයට යළි පත් කරනු ලැබුවෙමි. අනෙකා එල්ලා දමනු ලැබී යැ” යි පැවසී ය. එබැවින් පාරාවෝ යෝසෙප් කැඳවා යැවී ය. එවිට දඟ ගෙයින් වහාම ඔහු ගෙන එනු ලැබී ය. රැවුල බා, ඇඳුම් මාරු කළ පසු, ඔහු පාරාවෝ ඉදිරියට ආවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මම සිහිනයක් දැක්කා. එහෙත් එහි අර්ථය පහදා දෙන්නට හැකි කෙනකු නෑ. සිහිනයක් ඇසූ කල, එහි අරුත පහදා දීමට ඔබ සමත් බැව්, ඔබ ගැන මට අසන්නට ලැබුණා” යි කීවේ ය. යෝසෙප් පාරාවෝට පිළිතුරු දෙමින්, “මා නො වේ; දෙවියන්වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙනු ඇතැ” යි කීවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මගේ සිහිනයේදී මෙන්න මා නයිල් ගං ඉවුරේ සිටගෙන සිටියා. එවිට, තර, සැපවත් එළදෙන්නු හත් දෙනෙක් නයිල් ගංගාවෙන් මතු වී අවුත්, බට පඳුරු අතරේ තණ කමින් සිටියා. උන්ට පසුව මෙන්න, තවත් එළදෙන්නු හත් දෙනෙක් නැගී ආවා. උන් වැහැරුණු, කැත ම කැත, කැහැටු එවුන්. ඒ තරම් අවලස්සන එළදෙනුන් මේ මුළු ඊජිප්තුව තුළ මා කිසි දිනෙක දැක නැහැ. මෙම කැහැටු, කැත එළදෙනුන් විසින් අර මුලින් පැමිණි තර එළදෙනුන් හත්දෙනා කා දමනු ලැබුවා. උන් එසේ කා දැමූ පසුත්, එසේ කෑ වගක් පෙනෙන්නට තිබුණේ නෑ. උන් පෙර සේ ම අවලස්සනවයි පෙනුණේ. එවිට මට ඇහැරුණා. “තවද මගේ සිහිනයේදී පූර්ණ වූ සාරවත් කරල් හතක් තනි ගොයම් ගසක හටගෙන තිබුණා දැක්කා. ඉන් අනතුරුව, මැලවී, කේඬෑරි වී, පෙරදිග සුළඟින් ඇකිළී ගිය වෙනත් කරල් හතක් පැන නැගුණා. එම කේඬෑරි කරල්, අර සාරවත් කරල් හත ගිල දැමුවා. මා මෙය ඉන්ද්‍රජාලිකයින්ට පැවසූ නමුත්, මට එය තේරුම් කර දෙන්නට ඒ කිසිවකුත් සමත් වුණේ නෑ” යි කීවේ ය. එවිට යෝසෙප් පාරාවෝ අමතමින්, “පාරාවෝගේ සිහින දෙක එකක්මයි. දෙවියන්වහන්සේ, තමන් කරන්නට සූදානම් ව සිටින දේ පාරාවෝට එළිදරවු කර තියෙනවා. ඒ කදිම එළදෙනුන් හත්දෙනා, අවුරුදු හතක්. ඒ කදිම වී කරල් හත ද අවුරුදු හතක්. ඒ සිහින එකක්මයි. පසුව නැගී ආ කැහැටු, කැත එළදෙනුන් හත්දෙනා ද අවුරුදු හතක්; පෙරදිග සුළඟින් ඇකිළුණු, බොල් කරල් හත ද එයමයි. ඒවා සාගතයේ අවුරුදු හත ය. “එය පාරාවෝට මා කී පරිදි, දෙවියන්වහන්සේ කරන්නට යන දේ, උන්වහන්සේ පාරාවෝට පෙන්වා දී තියේ. ඇත්තෙන් ම අතිශය සමෘද්ධිමත් අවුරුදු හතක්, මුළු මහත් ඊජිප්තු දේශය පුරා උදා වෙයි. ඉන් අනතුරුව හත් අවුරුදු සාගතයක් එළැඹෙයි. එකල ඊජිප්තු දේශයේ සමෘද්ධිය අමතක ව යනු ඇති. සාගතයෙන් දේශය නැති නාස්ති වනු ඇත. පසුව පැමිණෙන සාගතය ඒ සා දරුණු වන බැවින්, දේශයේ සමෘද්ධිය මතකයෙන් බැහැර ව යයි. පාරාවෝට සිහිනය දෙආකාරයකින් පෙනුණේ, දෙවියන්වහන්සේ මෙම කාරණය ස්ථිර ව ම තීන්දු කර ඇති නිසයි. දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉටු කරනු ඇති. “එබැවින් දැන් පාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවත් කෙනකු සොයා, ඊජිප්තු දේශයේ බාරකාරත්වයට ඔහු පත් කෙරේවා. සමෘද්ධියේ හත් අවුරුදු කාලය තුළ, ඊජිප්තු දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටසක් අය කර ගන්නා පිණිස, පාරාවෝ බලයලත් නිලධාරීන් පත් කෙරේවා. ඔවුන්, මතු පැමිණෙන මේ සාරවත් අවුරුදුවල සියලු ආහාර වර්ග එකතු කොට, පාරාවෝගේ ආධිපත්‍යය යටතේ, ආහාර සඳහා නගරවල ගබඩා කොට තැබිය යුතුයි. සාගතයෙන් දේශය විනාශ වී නො යන පිණිස, මෙම ආහාර, ඊජිප්තු දේශය පුරා මතු ඇති වන හත් අවුරුදු සාගතයේ පරිභෝජනයට වෙන් කොට තැබිය යුතු වේ යැ” යි කීවේ ය. එම යෝජනාව පාරාවෝටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත් හොඳ වග පෙනී ගියේ ය. එබැවින් පාරාවෝ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ ආත්මයෙන් හෙබි, මේ මිනිසාට වඩා සුදුස්සකු අපට සොයාගත හැකි දැ?” යි ඇසුවේ ය. මෙසේ පාරාවෝ යෝසෙප් අමතමින්, “දෙවියන්වහන්සේ මේ හැම දේ ඔබට දන්වා ඇති බැවින්, ඔබ තරම් දැනුම් තේරුම් ඇති, ප්‍රඥාසම්පන්න කෙනකු තවත් නැත. මගේ මාලිගයේ ආධිපත්‍යය ඔබට පැවරේ. මගේ මුළු මහත් ජනතාව, ඔබේ නියෝගවලට යටත් ය. සිංහාසනයේදී පමණක්, මම ඔබට වඩා උසස් ව සිටිමි” යි පැවසී ය. පාරාවෝ යෝසෙප්ට කතා කොට, “මෙන්න, මුළු ඊජිප්තු දේශය ම මම ඔබට පවරමි” යි කීවේ ය. ඉන්පසු ඔහු තම ඇඟිල්ලේ වූ තම පේරැස් මුද්ද ගලවා, එය යෝසෙප්ගේ ඇඟිල්ලේ දැම්මේ ය. සිහින් හණ පිළියෙන් කළ ඇඳුම් ඔහුට හඳවා, ඔහුගේ ගෙල වට රන් මාලයක් ද පළඳවා, තමාගේ දෙවැනි රාජකීය අශ්ව රථයේ ඔහු නංවා, ගමන් කරවී ය. ඔහුට පෙරටුවෙන් මිනිස්සු, “දණ නමව්” කියමින් හඬ නැගූහ. මෙසේ පාරාවෝ, මුළු ඊජිප්තු දේශයට ම අධිපතියා කොට යෝසෙප් පත් කළේ ය. තවද පාරාවෝ යෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි. එහෙත් ඔබේ අවසරයක් නැතිව කිසිවකුත් මේ මුළු ඊජිප්තුව තුළ තමාගේ අතවත්, පයවත් ඔසවන්නේ නැතැ” යි කීවේ ය. පාරාවෝ යෝසෙප්ට සාෆෙනත්-පනේයා යන නම දුන්නේ ය. තවද ඔහු ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට බිරිඳ කොට දුන්නේ ය. යෝසෙප් මුළු ඊජිප්තු දේශය පුරා සැරි සැරී ය. යෝසෙප් ඊජිප්තු රජු වූ පාරාවෝගේ සේවයට පිවිසෙන කල, තිස්වන වියෙහි පසු විය. යෝසෙප්, පාරාවෝ අබියසින් නික්ම, ඊජිප්තුව මුළුල්ලේ සැරි සැරුවේ ය. සමෘද්ධිමත් හත් අවුරුදුවලදී දේශය සුවිසල් අස්වැන්නක් නිපදවී ය. සමෘද්ධිමත් එම හත් අවුරුදුවල ඊජිප්තුවෙහි නිපැයුණු සියලු ආහාර එක් රැස් කළ යෝසෙප්, ඒවා නගරවල ගබඩා කරවී ය. එක් එක් නගරය වටා වූ කෙත් වත්හි හටගත් ආහාර ඔහු එම නගරවල ම ගබඩා කරවී ය. යෝසෙප්, මුහුදේ වැලි මෙන් ධාන්‍ය අති විශාල ප්‍රමාණයක් ගබඩා කරවී ය. ඒවා කොයි තරම් වී ද යත්, ගණන්-මිනුම් තැබීම ඔහුට නතර කරන්නට සිදු විය. ඒවා, මැනිය නො හැකි තරම් විය. සාගත අවුරුදු එළැඹෙන්නට පෙර, ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට දාව, පුතුන් දෙදෙනකු බිහි කළා ය. යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ යැයි නම් තැබී ය. මන්ද, “මගේ සියලු කරදරත්, මගේ පියාගේ ගෘහවාසී සියලු දෙනාත් දෙවියන්වහන්සේ මට අමතක කර වූ නිසා” යි ඔහු කීවේ ය. ඔහු තම දෙවැනි පුතුට එප්‍රායිම් යැයි නම් තැබී ය. මන්ද, “මගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵල කළ සේකැ” යි ඔහු කීවේ ය. ඊජිප්තුව මුළුල්ලේ සමෘද්ධිමත් හත් අවුරුදු නිමා විය. යෝසෙප් පවසා තිබූ පරිදි සාගතයේ හත් අවුරුදු පටන් ගැනිණි. අනිකුත් රටවල් සියල්ලෙහි ද සාගතය පැවතිණ. එහෙත් ඊජිප්තු දේශය මුළුල්ලේ ආහාර තිබිණ. මුළු ඊජිප්තුවට ද සාගතය දැනෙන්නට වූ කල, ජනයා ආහාර ඉල්ලා පාරාවෝට හඬ නැගූහ. එවිට පාරාවෝ සියලු ඊජිප්තුවරුන් අමතමින්, “යෝසෙප් වෙත යන්න; ඔහු නුඹලාට කරන්නට කියන දේ, කරන්නැ” යි කීවේ ය. සාගතය මුළු මහත් දේශයෙහි පැතිර ගිය කල, යෝසෙප් ගබඩා විවර කර, ඊජිප්තුවරුනට ධාන්‍ය වික්කේ ය. මන්ද ඊජිප්තු දේශය මුළුල්ලේ සාගතය සැහැසි ව පැවතුණේ ය. සියලු රටවල් යෝසෙප්ගෙන් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුවට ආහ. මන්ද මුළු ලොව පුරා ම සාගතය සැහැසි ව පැවතුණේ ය.