YouVersion Logo
Search Icon

උත්පත්ති 40:1-15

උත්පත්ති 40:1-15 SCV

මින් කලකට පසු, ඊජිප්තු රජුගේ කුසලාන දරන්නා හා රොටි සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වූ ඊජිප්තු රජුට විරුද්ධ ව වැරදි කළහ. ප්‍රධාන කුසලාන දරන්නා හා ප්‍රධාන රොටි සාදන්නා වූ තම නිලධාරීන් දෙදෙනා ගැන කෝප වූ පාරාවෝ, යෝසෙප් සිරගත ව සිටි ස්ථානය වූ ආරක්ෂක සෙන්පතිගේ නිවසේ ඔවුන් සිරකර තැබී ය. ආරක්ෂක සෙන්පතියා යෝසෙප්ට ඔවුන් බාර කළේ ය. ඔහු ඔවුනට උපස්ථාන කළේ ය. ඔවුහු මද කලක් සිර බාරයේ සිටි පසු, සිරගත කරනු ලැබ සිටි ඊජිප්තු රජුගේ කුසලාන දරන්නා හා රොටි සාදන්නා යන දෙදෙනා, එක ම රැයක සිහිනය බැගින් දුටුවහ. ඒ එක් එක් සිහිනයට, ඊට අදාළ අරුතක් තිබිණි. පසු දින උදෑසන යෝසෙප් ඔවුන් වෙත පැමිණ, බැලූ කල, ඔවුන් කනස්සලුව සිටිනු දුටුවේ ය. එබැවින් ඔහු, තම ස්වාමියාගේ නිවසේ තමා සමඟ සිරගත ව හුන් පාරාවෝගේ එම නිලධාරීන් අමතමින්, “අද ඔබගේ මුහුණු ඔතරම් දුක්මුසු ව ඇත්තේ මන්දැ?” යි ඇසී ය. ඔවුහු ඔහුට පිළිතුරු දෙමින්, “අප දෙදෙනා සිහිනයක් දැක්කා. ඒත් ඒවායේ අරුත් පහදා දෙන්නට කිසිවකු නෑ” යි කීහ. එවිට යෝසෙප් ඔවුන් අමතමින්, “අරුත් පහදා දීම දෙවියන්වහන්සේ සතු කාරියක් නො වේ ද? හොඳයි, ඔබේ සිහින මට කියන්නැ” යි කීවේ ය. එවිට ප්‍රධාන කුසලාන දරන්නා තම සිහිනය යෝසෙප්ට පවසමින්, “මගේ සිහිනයේදී මා ඉදිරියේ වූ මිදි වැලක් දැක්කා. මිදි වැලේ අතු තුනක් තිබුණා. එය දළු දැමූ විගස, එහි මල් හට ගැනුණා. මිදි පොකුරු මෝරා ඉදුණා. පාරාවෝගේ කුසලාන මා අතේ තිබුණා. මා, මිදි පල ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, කුසලාන පාරාවෝගේ අතේ තැබුවා” යි කීවේ ය. එවිට යෝසෙප් ඔහු අමතමින්, “එහි අරුත මෙයයි. ඒ අතු තුන දවස් තුනක්; තුන් දවසක් ඇතුළත පාරාවෝ ඔබට හිස ඔසවන්නට සලසා, ඔබේ නිලයට යළි ඔබ පත් කරනු ඇත. ඔහුගේ කුසලාන දරන්නා ව සිටියදී, ඔබ කළ පරිදි ඔබ පාරාවෝගේ කුසලාන ඔහුගේ අතේ තබනු ඇත. මෙසේ ඔබට සෙත සැලසුණු කල, මා සිහි කර, මට කරුණාව දක්වමින්, පාරාවෝට මා ගැන මතක් කර, මේ සිර ගෙයින් මා එළියට ගන්න. මන්ද හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේ සිට මා මෙහි ගෙන එන ලද්දේ බලහත්කාරයෙනි. මෙසේ දඟ ගෙයි දමනු ලැබීමට තරම් කිසිවක් ද මා කර නැතැ” යි කීවේ ය.