YouVersion Logo
Search Icon

උත්පත්ති 3:7-21

උත්පත්ති 3:7-21 SCV

එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් ඇරිණි. තමන්ගේ නග්න බව ඔවුන්ට වැටහිණි. එනිසා අත්තික්කා කොළ එකට මසා ගත් ඔවුහු තමනට ඉණ වැසුම් සාදා ගත්හ. දවසේ සිහිල් වේලෙහි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසිණි. එවිට මනුෂ්‍යයාත්, ඔහුගේ භාර්යාවත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතින් උයනේ ගස් අතරේ සැඟවුණහ. එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “උයනේදී ඔබවහන්සේගේ හඬ මට ඇසුණා. මා නග්න බැවින් මා භය වුණා; එනිසා මා සැඟවුණා” යි පැවසී ය. එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක. මනුෂ්‍යයා පිළිතුරු දෙමින්, “මා සමඟ සිටින්නට ඔබවහන්සේ මට දුන් ස්ත්‍රී, ඒ ගහේ පල මට දුන්නා; මාත් කෑවා” යි කී ය. එවිට ස්ත්‍රිය ඇමතූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, “මොකක් ද මේ නුඹ කළේ?” යි පැවසූ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සර්පයා මා මුළා කළා. මාත් කෑවා” යි කීවා ය. එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සර්පයාට මෙසේ පැවසූ සේක: “තා මේ දේ කළ නිසා, “ගව-මහීෂාදී සියලු සතුනට ද සියලු වන සතුනට ද වැඩියෙන් තා ශාප ලබන්නෙහි ය. තගේ දිවි ඇති තුරා, තා බඩ ගා යමින්, දූවිල්ල කනු ඇත. තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය හා ඇගේ වංශය අතර ද මම සතුරුකම තබන්නෙමි. ඔහු, තගේ හිස පොඩි කරන්නේ ය. තා, ඔහුගේ විලුඹට පහර දෙනු ඇත.” උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්, “ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි; වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත. නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය. ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ආදම්ට කතා කොට, “නුඹේ භාර්යාවට නුඹ සවන් දී, ‘එයින් ඔබ නො කෑ යුතු යැ’ යි මා නුඹට අණ කළ ගසින් කෑ බැවින්, “නුඹ නිසා භූමිය ශාප ලබයි; දිවි හිමියෙන් වෙහෙස මහන්සි ව, නුඹ එයින් අහර සපයා ගනියි. එය නුඹට කටු ගස් හා වල් පඳුරු උපදවා දෙයි. නුඹ බැද්දේ පැළෑටි අහරට ගනියි. නුඹ ගනු ලැබුවේ භූමියෙන් බැවින් භූමියට ම නුඹ හැරී යන තෙක්, නුඹේ ම දහඩිය මහන්සියෙන් නුඹේ අහර, නුඹ බුදිනු ඇත. මන්ද නුඹ දූවිල්ල ය; දූවිල්ලට ම නුඹ හැරී යන්නේ යැ” යි පැවසූ සේක. මනුෂ්‍යයා, තම භාර්යාවට ඒව යන නම තැබී ය. මන්ද ජීවත් වන සියල්ලන්ගේ මාතාව ඇය ය. ආදම් හා ඔහුගේ බිරිඳ සඳහා හම් වස්ත්‍ර සෑදූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, ඒවා ඔවුන්ට හැඳ වූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 3:7-21