YouVersion Logo
Search Icon

උත්පත්ති 3:16-24

උත්පත්ති 3:16-24 SCV

උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්, “ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි; වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත. නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය. ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ආදම්ට කතා කොට, “නුඹේ භාර්යාවට නුඹ සවන් දී, ‘එයින් ඔබ නො කෑ යුතු යැ’ යි මා නුඹට අණ කළ ගසින් කෑ බැවින්, “නුඹ නිසා භූමිය ශාප ලබයි; දිවි හිමියෙන් වෙහෙස මහන්සි ව, නුඹ එයින් අහර සපයා ගනියි. එය නුඹට කටු ගස් හා වල් පඳුරු උපදවා දෙයි. නුඹ බැද්දේ පැළෑටි අහරට ගනියි. නුඹ ගනු ලැබුවේ භූමියෙන් බැවින් භූමියට ම නුඹ හැරී යන තෙක්, නුඹේ ම දහඩිය මහන්සියෙන් නුඹේ අහර, නුඹ බුදිනු ඇත. මන්ද නුඹ දූවිල්ල ය; දූවිල්ලට ම නුඹ හැරී යන්නේ යැ” යි පැවසූ සේක. මනුෂ්‍යයා, තම භාර්යාවට ඒව යන නම තැබී ය. මන්ද ජීවත් වන සියල්ලන්ගේ මාතාව ඇය ය. ආදම් හා ඔහුගේ බිරිඳ සඳහා හම් වස්ත්‍ර සෑදූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, ඒවා ඔවුන්ට හැඳ වූ සේක. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මෙන්න! හොඳ හා නරක දැනගැනීමෙන්, මනුෂ්‍යයා දැන් අපගෙන් කෙනකු හා සමාන බවට පත් ව සිටියි. ඊළඟට ඔහුගේ අත දිගු කොට, ජීවන වෘක්ෂයෙන් ද ගෙන, අනුභව කොට, ඔහු සදහට ම ජීවත් නො විය යුතු යැ” යි පැවසූ සේක. එබැවින්, භූමියෙන් ගනු ලැබූ මනුෂ්‍යයා, භූමිය වගා කරනු සඳහා ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් නෙරපා දැමූ සේක. එසේ මනුෂ්‍යයා පිට මං කළ පසු, ජීවන වෘක්ෂයට යන මාවත රැකවල්ලමින්, ඒදන් උයනට පෙරදිගින් කෙරුබ්වරුන් ද හැම අතට ම ලෙළ දෙන, ඇවිළෙන කඩුවක් ද උන්වහන්සේ තැබූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 3:16-24