YouVersion Logo
Search Icon

උත්පත්ති 24:12-65

උත්පත්ති 24:12-65 SCV

ඉන්පසු ඔහු, “අහෝ ස්වාමින්වහන්ස, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, අද දවසේ මා සඵල කළ මැනව. මගේ ස්වාමියා වූ ආබ්‍රහම්ට ආදර කරුණාව පෑ මැනව. මෙන්න, මා මේ දිය උල්පත ළඟ සිටිනවා. නගරවාසීන්ගේ දූ දැරියන් දැන් දිය ඇදීමට ඒවි. මා යම් තරුණියක අමතා, ‘කරුණාකර ඔබේ කළය පහත් කර, මට බීමට වතුර ඩිංගක් දෙන්නැ’ යි කී කල, ‘ආ බොන්න! ඔබේ ඔටුවන්ටත් මම දිය ඇද දෙන්නම්’ කියන තැනැත්තිය ඔබේ සේවක ඊසාක්ට ඔබ තේරූ සහකාරිය වේවා! මගේ ස්වාමියාට ඔබ ආදර කරුණා පා ඇති වග මම එයින් දැන ගන්නෙමි” යි පැවසී ය. ඔහු එසේ කියා නිම වන්නටත් පෙර, රෙබෙකා තම කළය තම කරේ තබා, පිටත් ව ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සහෝදර නාහෝර්ගේ බිරිඳ වූ මිල්කාගේ පුත් බෙතුවෙල්ගේ දියණියයි. ඉතා සුරූපී තරුණියක වූ ඈ කන්‍යාවකි. කිසිදු පිරිමියකු හා එක් වී නො තිබුණි. ඈ දිය උල්පතට බැස, තම කළය පුරවා, යළි ගොඩට ආවා ය. එවිට වහා ඇය හමුවට ගිය සේවකයා, “කරුණාකර ඔබේ කළෙන් මට වතුර ඩිංගක් බොන්න දෙන්නැ” යි කීවේ ය. “බොන්න මා මැතිඳුනි” යි පැවසූ ඈ, වහා කළය පහත් කර, දෝතට ගෙන, ඔහුට බොන්නට දුන්නා ය. ඈ, ඔහුට බොන්නට දුන් පසු, “ඔබේ ඔටුවන් ද බී නිම වන තුරු උන්ටත් දිය ඇද දෙන්නම්” යයි කීවා ය. මෙසේ, කළයේ වූ දිය, සතුන් දිය බොන ඔරුවේ විගස හලා, තවත් දිය අදිනු පිණිස, යළි යළිත් ළිඳට දිවූ ඈ, ඔහුගේ ඔටුවන් සියල්ලනට සෑහෙන තරමට දිය ඇද දුන්නා ය. ස්වාමින්වහන්සේ තම ගමන සඵල කළ සේක්දෝ, නො වේ දෝයි දැනගනු පිණිස, ඒ මිනිසා වචනයක්වත් කතා නො කොට ඇය දෙස පරීක්ෂාකාරී ව බලා සිටියේ ය. ඔටුවන් දිය බී නිම වූ පසු, ඒ මිනිසා ෂෙකෙල් බාගයක් බරැති රන් නාසාභරණයක් ද ඇගේ අත්වලට ෂෙකෙල් දහයක් බරැති රන් වළලු ජෝඩුවක් ද පිටතට ගෙන, ඇය අමතමින්, “ඔබ කාගේ දියණියදැයි කරුණාකර මට කියන්න. රැය ගත කරන්නට ඔබේ පියාගේ ගෙදර අපට ඉඩ තියේවි දැ?” යි ඇසී ය. ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මා නාහෝර්ට දාව, මිල්කා බිහි කළ පුත් බෙතුවෙල්ගේ දියණියයි; අප ළඟ ඕන තරම් පිදුරු හා සත්ව ආහාරත්, රැය ගත කිරීමට ඉඩකඩත් තියෙනවා” යි වැඩිදුරටත් කීවා ය. එවිට ඒ මිනිසා හිස බිමට නමා, ස්වාමින්වහන්සේට නමස්කාර කර, “මගේ ස්වාමියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මගේ ස්වාමියා වෙතැති ස්වකීය ආදර කරුණාවත්, විශ්වාසවන්තකමත් උන්වහන්සේ අත්හැර නැත. ස්වාමින්වහන්සේ මටත් මේ ගමනේදී මග පෙන්වූසේක්, මගේ ස්වාමියාගේ නෑයින්ගේ ගෙදරට ම මා යොමු කළ සේකැ” යි පැවසී ය. එකල, ඒ තරුණිය තම මවගේ ගෙදර දුව ගොස්, සිදු වූ දෑ නිවැසියනට සැල කළා ය. රෙබෙකාට ලාබාන් නමින් සහෝදරයෙක් සිටියේ ය. ඔහු, දිය උල්පත ළඟ සිටි මිනිසා වෙත දිවුවේ ය. තම සහෝදරිය වෙත වූ නාසාභරණය ද ඇගේ අත්වල වූ වළලු ද දැක, ඒ මිනිසා රෙබෙකාට කී දෑ ඇය පවසනු ද ඇසූ කල, ඒ මිනිසා වෙත ගිය ලාබාන්, දිය උල්පත ළඟ ඔටුවන් අසල ඔහු සිටගෙන සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “එන්න; ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දාණනි, මොකද මේ එළියේ හිටගෙන; මා නිවස සූදානම් කළා; ඔටුවන්ට තැනකුත් පිළියෙල කළා” යි පැවසී ය. එබැවින්, ඒ මිනිසා නිවසට ආවේ ය. ඔටුවන් පිට වූ බඩු, බාන ලදුව, උන්ට පිදුරුත්, සත්ව ආහාරත් සැපයිණි. ඔහුටත්, ඔහු සමඟ පැමිණි සෙසු මිනිසුන්ටත් පා සේදීමට ජලය ද සැපයිණි. ඉන්පසු ඔහු ඉදිරියේ ආහාර තබන ලදී. එහෙත්, “මා ආ කාරිය ඔබට කියන තුරු, මා ආහාර ගන්නේ නැතැ” යි ඔහු පැවසී ය. “එසේ නම් කියන්නැ” යි පිළිතුරු ලැබිණ. එවිට ඔහු කතා කරමින්, “මා ආබ්‍රහම්ගේ සේවකයායි. ස්වාමින්වහන්සේ මගේ ස්වාමියාට ඉමහත් ව ආශිර්වාද කර ඇති බැවින්, ඔහු දැන් ධනවත්; උන්වහන්සේ ඔහුට එළු බැටළු හා ගව රංචු ද රිදී හා රත්රන් ද දැසි දස්සන් ද ඔටුවන් හා බූරුවන් ද දී තියෙනවා. මගේ ස්වාමියාගේ බිරිඳ, සාරා ඇගේ මහලු වයසේදී ඔහුට බිහි කර දුන් පුතාටයි මගේ ස්වාමියා තමා සන්තක සියල්ල දී ඇත්තේ; මගේ ස්වාමියා මගෙන් දිවුරුම් ගනිමින්, ‘මා දැන් වෙසෙන මේ දේශයේ කානානිවරුන් අතරේ දූවරුන් වෙතින් ඔබ මගේ පුතුට බිරිඳක නො ගත යුතුයි. ඒ වෙනුවට මගේ පියාගේ පවුල වෙත, මගේ ම පෙළපත වෙත ගොස්, ඔවුන් අතරින් මගේ පුතුට බිරිඳක ගෙන දෙන්නැ’ යි මට කීවා. “එවිට මා, මගේ ස්වාමියා අමතා, ‘ඒ කාන්තාව සමහර විට මා සමඟ නාවොත් කෙසේ දැ?’ යි ඇසුවා. “ඔහු මට පිළිතුරු දෙමින්, ‘මා හැසිරුණේ ස්වාමින්වහන්සේ ඉදිරියේයි; උන්වහන්සේ ස්වකීය දූතයා ඔබ සමඟ යවා, ඔබේ ගමන සඵල කරනවා ඇති; එවිට ඔබ, මගේ ම පෙළපත වෙතින්, මගේ පියාගේ පවුලෙන් මගේ පුතුට බිරිඳක ගෙනෙනු ඇත. මෙසේ මගේ පෙළපත වෙත ඔබ ගිය කල්හි, මට දුන් දිවුරුමෙන් ඔබ නිදහස්; ඔබ සමඟ ඇය එවීම ඔවුන් ප්‍රතික්ෂේප කළත්, මට දුන් දිවුරුමෙන් ඔබ නිදහස් යැ’ යි කීවා. “අද මම දිය උල්පත ළඟට පැමිණ, ‘අහෝ ස්වාමින්වහන්ස, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මා ආ ගමන ඔබ සඵල කරන සේක් නම්, මෙන්න, මම මේ දිය උල්පත ළඟ සිටගෙන සිටින අතරේ දිය අදින්නට තරුණියක් පිටත් ව ආ විට, “කරුණාකර, ඔබේ කළෙන් මට වතුර ඩිංගක් දෙන්නැ” යි මා ඇගෙන් ඉල්ලනවා. එවිට “ආ බොන්න; ඔබේ ඔටුවන්ටත් මා දිය ඇද දෙන්නම්” කියා ඈ කියන්නී නම්, ඇය මගේ ස්වාමියාගේ පුත්‍රයාට ස්වාමින්වහන්සේ තේරූ සහකාරිය වේවා’ යි කීවා. “මගේ හදවතින් මා එසේ කියා නිම වන්නටත් කලින් රෙබෙකා තම කළය තම කරේ තබා, පිටත් ව ආවා. ඈ දිය උල්පතට බැස, දිය ඇද්දා. එවිට මම, ‘කරුණාකර මට බොන්න වතුර ඩිංගක් දෙන්නැ’ යි ඇගෙන් ඉල්ලුවා. “එවිට වහා තම කරෙන් තම කළය පහත් කළ ඈ, ‘ආ බොන්න; ඔබේ ඔටුවන්ටත් වතුර දෙන්නම්’ කීවා. මෙසේ, මා වතුර බීවා. ඔටුවන්ටත් ඈ වතුර දුන්නා. “ ‘ඔබ කාගේ දියණිය දැ?’ යි මා ඇගෙන් ඇසුවා. “ඈ පිළිතුරු දෙමින්, ‘මම, නාහෝර්ට දාව මිල්කා බිහි කළ පුත් බෙතුවෙල්ගේ දියණියැ’ යි කීවා. “එවිට ඇගේ නාසයට නාසාභරණය ද ඇගේ දෑතට වළලු ද දැමූ මා, හිස බිම නමා, ස්වාමින්වහන්සේට නමස්කාර කර, මා ස්වාමියාගේ පුතුට, ඔහුගේ සොහොයුරාගේ මිනිපිරිය කැන්දා ගෙන යෑමට හරි මගෙහි මා ගෙන ආ ස්වාමින්වහන්සේට, මගේ ස්වාමියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා. එබැවින් දැන් ඔබ, මගේ ස්වාමියාට කරුණාවත්, විශ්වසනීයත්වයත් දක්වනවා නම්, ඒ වග මට කියන්න. එසේ නො වේ නම් ඒ වගත් කියන්න. එවිට කවර අත හැරෙම්දෝයි මා දන්නවා” යි කීවේ ය. ලාබාන් හා බෙතුවෙල් පිළිතුරු දෙමින්, “මෙය ස්වාමින්වහන්සේගෙන් පැමිණි දෙයක්; ඊට පක්ෂ ව හෝ විපක්ෂ ව හෝ කිසිවක් කීමට අපට නුපුළුවන. මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියේ සිටියි. ඇය කැඳවාගෙන යන්න. ස්වාමින්වහන්සේ පෙන්වා දී ඇති පරිදි, ඇය ඔබගේ ස්වාමියාගේ පුත්‍රයාට බිරිඳ වේවා” යි කීහ. ආබ්‍රහම්ගේ සේවකයා ඔවුන් කී දේ ඇසුණු කල, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි බිමට නැමී වැන්දේ ය. ඉන්පසු සේවකයා රිදී හා රන් අබරණ ද ඇඳුම්-පැලඳුම් ද ගෙන, රෙබෙකාට දුන්නේ ය. ඇගේ සොහොයුරාට හා ඇගේ මවට ද ඔහු වටිනා තෑගි දුන්නේ ය. ඉන්පසු ඔහු ද ඔහු සමඟ පැමිණ සිටි මිනිස්සු ද කෑවෝ ය; බීවෝ ය; රැය එහි ගත කළෝ ය. පසු දා උදෑසන පිබිදුණු ඔහු, “මගේ ස්වාමියා වෙත මා පිටත් කර හරින්නැ” යි ඉල්ලා සිටියේ ය. එහෙත්, රෙබෙකාගේ සොහොයුරාත්, ඇගේ මවත් පිළිතුරු දෙමින්, “තව ටික දවසක්, දවස් දහයක් පමණවත් තරුණිය අප සමඟ සිටියාවේ. ඉන්පසු ඇයට යත හැකි යැ” යි කීහ. එහෙත් ඔහු ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේ මගේ ගමන සඵල කර ඇති නිසා මා පමා කරවන්න එපා. මගේ ස්වාමියා වෙත යන පිණිස මට යන්න ඉඩ හරින්නැ” යි කීවේ ය. එවිට ඔවුහු, “අපි තරුණියට අඬගසා, ඇගෙන් ම අසා බලමු” යි කීහ. මෙසේ රෙබෙකා කැඳවූ ඔවුහු ඇය අමතමින්, “ඔබ මේ මනුෂ්‍යයා කැටිව යනවා දැ?” යි ඇසූහ. “ඔව්, මම යන්නෙමි” යි ඈ කීවා ය. එකල ඔවුහු තම සහෝදරිය වූ රෙබෙකා හා ඇගේ කිරි මව, ආබ්‍රහම්ගේ සේවකයා ද ඔහුගේ මිනිසුන් ද සමඟ පිටත් කර යැවූහ. ඔවුහු රෙබෙකාට ආශිර්වාද කරමින්, “අපගේ සහෝදරිය, ඔබ දහස් ගණනින්, දස දහස් ගණනින් වැඩි වර්ධන වේවා! ඔබගේ දරු පරපුර, ඔවුන්ගේ සතුරන්ගේ දොරටු අත්කර ගනිත්වා!” යි කීහ. රෙබෙකා හා ඇගේ සේවිකාවෝ ගමනට සූදානම් වූවෝ, තම ඔටුවන් පිට නැගී, ඒ මිනිසා සමඟ ගියෝ ය. මෙසේ, එම සේවකයා රෙබෙකා කැටිව පිටත් ව ගියේ ය. ඊසාක් එකල වාසය කළේ නෙගෙබ් පෙදෙසේ ය; ඔහු බෙයර් ලහායි-රොයී වෙතින් අවුත් සිටියේ ය. එක් සවසක මෙනෙහි කරන්නට කෙතට ගිය ඊසාක්, දෑස් දල්වා විපරමින් බැලූ කල ඔටුවන් එනු දුටුවේ ය. රෙබෙකා ද විපරමින් බැලුවා ය. එකල, ඊසාක් දුටු ඈ ඔටුවා පිටින් බැස්සා ය. “අර කෙත් වතු අතරින් අප හමුවට එන මිනිසා කවරෙක් දැ?” යි ඈ සේවකයාගෙන් ඇසුවා ය. සේවකයා පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා ඔහු යැ” යි කීවේ ය. එවිට ඈ තම සළු පට ගෙන, මුහුණ ආවරණ කර ගත්තා ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 24:12-65