උත්පත්ති 2:7-15
උත්පත්ති 2:7-15 SCV
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා නිර්මාණ කොට, ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන පුද්ගලයෙක් විය. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පෙරදිග, ඒදන්හි උයනක් වවා තිබූ සේක්, උන්වහන්සේ නිර්මාණ කළ මනුෂ්‍යයා එහි පිහිටූ සේක. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, දැකීමට ප්‍රිය වූත්, අහරට සුදුසු වූත් සියලු ගස් වැල් පොළොවෙන් හට ගැන් වූ සේක. උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ හා නරක නිශ්චය කිරීමේ ගස ද විය. උයන සරු කරනට ඒදන් සිට ගංගාවක් ගලා ගොස්, එතැන් පටන් හතර අතකට බෙදී ගියේ ය. පළමුවැන්නේ නම පීෂොන් ය. රත්රන් ඇති මුළු හවීලා දේශය වටා ගලා යන්නේ එයයි. ඒ දේශයේ රත්රන් හොඳ ය. දුර්ලභ සුවඳ දුම්මල ද ගෝමේද මැණික් ද එහි වෙයි. දෙවැනි ගංගාවේ නම ගීහොන් ය. මුළු කූෂ් දේශය වටා එය ගලා බසී. තෙවැනි ගංගාවේ නම ටයිග්‍රිස් ය. අසිරියා දේශයේ පෙරදිග ඔස්සේ ගලා යන්නේ එයයි. හතරවැන්න යුප්‍රටීස් ගංගාවයි. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ගෙන, ඒදන් උයන වගා කිරීමටත්, එය බලා ගැනීමටත් ඔහු එහි පදිංචි කර වූ සේක.





