උත්පත්ති 19:15-23
උත්පත්ති 19:15-23 SCV
උදයට පහන් වෙත් ම, දේව දූතයෝ ලොත් උනන්දු කරවමින්, “ඉක්මනට, මෙහි සිටින ඔබේ බිරිඳත්, ඔබේ දූවරුන් දෙදෙනාත් ගෙන යන්න. නැතහොත්, නගරයට දඬුවම් දෙන කල, ඔබත් වැනසී යාවි” යි කීහ. එහෙත් ලොත් සුනංගු වනු දුටු ඒ මිනිස්සු, ඔහු වෙත වූ ස්වාමින්වහන්සේගේ දයාව නිසා ලොත්ගේ, ඔහුගේ බිරිඳගේ හා ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්වලින් ඇදගෙන ගොස්, නගරයෙන් පිටතට සුරැකි ව ඔවුන් ඇරලූහ. එසේ පිටතට ඔවුන් ඇරලූ විගස ඔවුන් ඇමතූ ඒ දෙදෙනාගෙන් කෙනෙක්, “ජීවිත බේරා ගන්නට පලා දුවන්න; පසු පස හැරී බලන්න එපා; තැන්නේ කිසි තැනක නවතින්න එපා. කඳුකරයට ම පලා යන්න; නැතහොත් ඔබ වැනසී යාවි” යි පැවසී ය. එහෙත් ලොත් ඔවුන්ට කතා කොට, “එසේ නො වෙයි මා ස්වාමිවරුනි, ඔබේ සේවකයාට ඔබගෙන් උපකාර ලැබී, මගේ ජීවිතය බේරා දීමෙන් ඔබ මට ඉමහත් කරුණාවක් පෑවා. එහෙත් මට කඳුකරයට පලා යන්න බැහැ. මේ විපත්තිය මට ඉස්සර වී, මා මැරී යනු ඇති. අර බලන්න, අර නගරය නම් පලා යා ගන්නට ළඟයි. එය කුඩායි. එහි පලා යන්න මට ඉඩ දෙන්න. එය ඉතා කුඩා එකක් නො වේ ද? එවිට මගේ ජීවිතය ගැලවෙනු ඇතැ” යි කීවේ ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳයි, මම ඒ ඉල්ලීමත් ඉටු කරමින් ඒ නගරය විනාශ නො කර සිටින්නම්. ඉක්මනින් එහි පලා යන්න. ඔබ එහි ළඟා වන තෙක් මට කිසිවක් කළ නො හැකි යැ” යි පැවසූ සේක. එබැවින් ඒ නගරය සොවර් නමින් හැඳින්විණ. ලොත්, සොවර් වෙත ළඟා වන විට පොළොවට හිරු උදා වී තිබිණ.





