උත්පත්ති 18:1-8
උත්පත්ති 18:1-8 SCV
ස්වාමින්වහන්සේ මම්රේගේ ආලෝන් වෘක්ෂ අසලදී, ආබ්‍රහම්ට පෙනුණු සේක. දවසේ ග්‍රීෂ්ම වේලාව වූ එවේලේ ඔහු තම කූඩාරම් දොරකඩ වාඩි වී සිටියේ ය. ඔහු නෙත් දල්වා බැලූ කල, මිනිසුන් තුන් දෙනකු තමාට නුදුරින් සිටගෙන සිටිනු දුටුවේ ය. ඔවුන් දුටු කල, තම කූඩාරම් දොරටුවේ සිට ඔවුන් වෙත විගස ගිය ආබ්‍රහම්, මුහුණ බිමට නමා, ආචාර කළේ ය. ඔහු කතා කරමින්, “මා ස්වාමිනි, ඔබ මා කෙරේ ප්‍රසන්න නම්, මදක් නැවතී මිස ඔබේ සේවක මා පසු කර නො යන්න. මා වතුර ටිකක් ගෙනෙන්නම්. එවිට ඔබ හැමට පා සෝදාගෙන, මේ ගස් සෙවණේ මදක් විවේක ගත හැකියි. දැන් ඔබ ඔබේ සේවකයා වෙත පැමිණ සිටින නිසා, මම ඔබට කෑමට යමක් සපයන්නම්. එවිට ඉන් ප්‍රබෝධවත් වී, ඔබට ඔබේ ගමන යා හැකි යැ” යි කීවේ ය. “හොඳයි. ඔබ කී දේ කරන්නැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට, වහා සාරා වෙත තම කූඩාරම තුළට ගිය ආබ්‍රහම්, “ඉක්මන් කරන්න. සිහින් පිටි නැළි තුනක් ගෙන, අනා, රොටි පුලුස්සන්නැ” යි කීවේ ය. ඉන්පසු ගව ගාලට දිවූ ආබ්‍රහම්, හොඳ ළපටි වස්සකු තෝරා, සේවකයකුට දී, ඌ පිළියෙල කිරීම ඉක්මන් කළේ ය. ඉන්පසු ඔහු මුදවපු කිරි හා එළකිරි ද පිසින ලද වස්සා ද ගෙනවුත්, ඔවුන් ඉදිරියේ තැබී ය. ඔවුන් ආහාර ගන්නා අතරේ, ඔහු ගස යට ඔවුන් අසල සිටගෙන සිටියේ ය.





