උත්පත්ති 17:6-11
උත්පත්ති 17:6-11 SCV
මම, ඔබ අතිශයෙන් සඵල කරන්නෙමි. ඔබෙන් ජාතීන් ඇති කරන්නෙමි. රජවරුන් ඔබගෙන් පැවත එනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ද ඔබෙන් පසු ඔබේ දරු පරපුරේ දෙවියන්වහන්සේ වන පිණිස ද මා හා ඔබ අතරේත්, ඔබෙන් පසු මා හා ඔබේ දරු පරපුර අතරේත් පරපුරින් පරපුරට සදාතනික ගිවිසුමක් කොට, මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. පිටදේශක්කරුවකු සේ ඔබ දැන් වෙසෙන දේශය, මේ මුළු කානාන් දේශය, මම ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සදාතනික උරුමයක් කොට දෙන්නෙමි. මම ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි” යි පැවසූ සේක. දෙවියන්වහන්සේ ඉන්පසු ආබ්‍රහම් ඇමතූ සේක්, “ඔබ ගැන නම්, ඔබත්, ඔබෙන් පසු පැවත එන ඔබේ දරු පරපුරත්, පරපුරින් පරපුරට මගේ ගිවිසුම රක්ෂා කළ යුතුයි. ඔබ සමඟත්, ඔබගෙන් පසු ඔබෙන් පැවත එන්නන් සමඟත් වන මගේ ගිවිසුම, ඔබ විසින් පිළිපැදිය යුතු ගිවිසුම, මෙයයි: ඔබ අතරෙහි හැම පිරිමියකු චර්මඡේද කළ යුතු ය. ඔබ ඔබේ ලිංගාග්‍ර චර්මයෙහි මාංසය ඡේදන කළ යුතු ය. මාත්, ඔබත් අතර ගිවිසුමේ ලකුණ වන්නේ එයයි.





