උත්පත්ති 13:1-18
උත්පත්ති 13:1-18 SCV
එබැවින් ආබ්‍රම් තම භාර්යාව ද තමා සතු සියල්ල ද ගෙන, ඊජිප්තුවේ සිට නෙගෙබ් දෙසට ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. එළු බැටළු හා හරකා බානෙන් ද රන් හා රිදීයෙන් ද ආබ්‍රම් ඉතා ධනවත් ව සිටියේ ය. නෙගෙබ් සිට බෙතෙල් දක්වා ගමන් කළ ආබ්‍රම්, බෙතෙල් හා ආයි අතර මුලින් ඔහු කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය. කලින් වර ඔහු පූජාසනයක් තනා තිබුණේ එහි ය. ආබ්‍රම් එහිදී ස්වාමින්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළේ ය. මේ වන විට ආබ්‍රම් සමඟ ගිය ලොත්ට ද එළු බැටළු හා ගව රංචු ද කූඩාරම් ද තිබිණි. එබැවින් ඔවුන් දෙගොල්ලට එක් ව නඩත්තු වීමට තණ බිම්හි ඉඩ නො වී ය. ඔවුනට එක් ව විසීමට නො හැකි තරමට ඔවුන්ගේ සම්පත් අධික විය. එහෙයින් ආබ්‍රම්ගේ ගොපල්ලන් හා ලොත්ගේ ගොපල්ලන් අතර කලහ හට ගැනිණි. එකල ඒ දේශයෙහි කානානිවරු හා පෙරිස්සිවරු ද විසූහ. එබැවින් ලොත් ඇමතූ ආබ්‍රම්, “අපි ළඟ නෑයින් බැවින් ඔබ හා මා අතරේවත්, ඔබේ ගොපල්ලන් හා මගේ ගොපල්ලන් අතරේවත් කලහ ඇතිකර නො ගනිමු. මේ මුළු දේශය ම ඔබ ඉදිරිපිට තියෙනවා නො වේ ද? මගෙන් වෙන් වී යන්න; ඔබ වම් පැත්තට යතොත්, මම දකුණට යන්නෙමි. ඔබ දකුණු පැත්තට යතොත්, මම වමට යන්නෙමි” යි කීවේ ය. ලොත් නෙත් ඔසවා බැලී ය. සමස්ත යොර්දාන් තැන්න මනා ජල සම්පතින් යුතු ව, සොවර් දක්වා ම ස්වාමින්වහන්සේගේ උයන මෙන් ද ඊජිප්තු දේශය මෙන් ද තිබෙනු ඔහු දැක්කේ ය. (ඒ, ස්වාමින්වහන්සේ සොදොම හා ගොමොරාව විනාශ කර දැමීමට කලිනි.) එබැවින් ලොත් සමස්ත යොර්දාන් තැන්න තමාට තෝරා ගෙන, නැගෙනහිර දෙසට පිටත් විය. මෙසේ ඔවුහු එකිනෙකාගෙන් වෙන් වූහ. ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් යොර්දාන් තැන්නේ නගර අතර වෙසෙමින්, සොදොම සමීපයෙහි තම කූඩාරම් ගසා ගත්තේ ය. තවද සොදොම් වාසීහු දුෂ්ටයෝ වූවාහු, ස්වාමින්වහන්සේට එරෙහිව බොහෝ සේ පව් කළාහු ය. ආබ්‍රම් වෙතින් ලොත් වෙන් ව ගිය පසු, ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබගේ නෙත් ඔසවා, ඔබ සිටින තැන සිට උතුර හා දකුණ ද නැගෙනහිර හා බටහිර ද දෙස බලන්න. ඔබ දකින මුළු මහත් දේශය ඔබටත්, ඔබෙන් පැවතෙන ඔබේ වංශයටත් මම සදහට ම දෙන්නෙමි. මම ඔබේ වංශය පොළොවේ දූලි මෙන් වැඩි කරන්නෙමි. යමකුට පොළොවේ දූලි ගැණිය හැකි වේ නම්, ඔබේ වංශයත් ගැණිය හැකි වනු ඇත. යන්න! දේශය දිගටත්, හරහටත් ඇවිදින්න. මන්ද මම එය ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක. එබැවින් ආබ්‍රම් තම කූඩාරම ඉවත් කොට, හෙබ්‍රොන්හි මම්රේගේ ආලෝන් වෘක්ෂ අසලට අවුත්, පදිංචි විය. එහි ස්වාමින්වහන්සේට පූජාසනයක් ඔහු ඉදි කළේ ය.





