උත්පත්ති 10:6-20
උත්පත්ති 10:6-20 SCV
හාම්ගේ පුත්‍රයෝ: කූෂ්, මිස්රයිම්, පූට් හා කානාන්. කූෂ්ගේ පුත්‍රයෝ: සෙබා, හවීලා, සබ්තා, රාමා හා සබ්තෙකා. රාමාගේ පුත්‍රයෝ: ෂෙබා හා දෙදාන්. කූෂ්, නිම්රොද්ගේ පියා විය. නිම්රොද් මිහි පිට බලවත් රණශූරයකු බවට පත් විය. ස්වාමින්වහන්සේ අබියස ඔහු බලවත් දඩයක්කරුවකු ද විය. “ස්වාමින්වහන්සේ අබියස බලවත් දඩයක්කරුවකු වූ නිම්රොද් වාගේ ය” යන කියමන ඇති වූයේ එබැවිනි. ඔහුගේ රාජ්‍යයේ මුල් ස්ථාන වූයේ ෂිනාර් දේශයේ බාබෙල්, එරෙක්, අක්කද් හා කල්නේ ය. ඒ දේශයෙන් අසිරියාවට ගිය ඔහු නිනිවය ද රෙහෙබොත්-ඊර් ද කාලා ද නිනිවය හා කාලා මහ පුරවරය අතර රෙසෙන් ද ගොඩ නැගී ය. මිස්රයිම්ගෙන් පැවත එන්නෝ නම් ලූද්වරුන්, අනාම්වරුන්, ලෙහාබ්වරුන් හා නෆ්තුහිවරුන් යන ජනයා ද පත්රුස්වරුන්, කස්ලුහිවරුන් හා කෆ්තොර්වරුන් යන ජනයා ද වෙති. පිලිස්තිවරුන් පැවත එන්නේ කස්ලුහීම්වරුන්ගෙනි. කානාන්, තම කුලුඳුලා වූ සීදොන්ගේ ද හේත්ගේ ද යෙබූසිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද අර්කිවරුන්ගේ ද සීනිවරුන්ගේ ද අර්වාදිවරුන්ගේ ද සෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. (පසු කලෙක කානානිවරුන්ගේ පෙළපත් පැතිරිණි. කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට ගාසා තෙක් ඈතට ද සොදොම්, ගොමොරා, අද්මා සහ සෙබොයිම් දෙසට ලාෂා තෙක් ඈතට ද පැතිරිණි.) තමන්ගේ දේශ හා ජාතීන් තුළ තම පෙළපත් හා භාෂා වශයෙන් වූ හාම්ගේ පුත්තු ඔවුහු ය.





