එස්රා 5:12-17
එස්රා 5:12-17 SCV
එහෙත් අපගේ පියවරුන් ස්වර්ගයේ දෙවියන්වහන්සේ කෝප ගැන් වූ බැවින්, උන්වහන්සේ ඔවුන් බබිලෝනි රජු වූ කල්දීය නෙබුකද්නෙසර් අතට හසුකර දුන් සේක. ඔහු මේ ගෘහය විනාශ කොට, මිනිසුන් බබිලෝනිය වෙත අල්ලාගෙන ගියේ ය. “කෙසේ වෙතත් බබිලෝනියේ රජු වූ කෝරෙෂ්ගේ පළමු වසරේ, කෝරෙෂ් රජු දෙවියන්වහන්සේගේ මේ ගෘහය යළි ඉදිකරන නියෝගයක් නිකුත් කළේ ය. තවද යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහයේ තිබූ රන් හා රිදී භාණ්ඩ නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ දේව මාලිගයෙන් ගෙන ගොස්, බබිලෝනි දෙවොලේ තැන්පත් කරන ලදී. කෝරෙෂ් රජු එම භාණ්ඩ බබිලෝනි දෙවොලෙන් ගෙන, ඔහු විසින් ආණ්ඩුකරු ලෙස පත් කර තිබූ ෂේෂ්බසර් නැමැත්තාට ඒවා භාර දී, ‘මේ භාණ්ඩ භාරගෙන, ගොස්, ඒවා යෙරුසලමේ දේව මාලිගයේ තැන්පත් කරන්න. දෙවියන්වහන්සේගේ ගෘහය ද ඊට නියමිත බිමේ යළි ගොඩ නගන්නැ’ යි උපදෙස් දී තිබිණි. “එබැවින් මේ ෂේෂ්බසර් පැමිණ, යෙරුසලමේ දෙවියන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දැමී ය. ඒ දවසේ සිට මේ දක්වා එය ගොඩ නගන නමුදු, තවම වැඩ අවසන් වී නැත.” එබැවින් රජුට යහපතැයි හැඟෙන පරිදි යෙරුසලමේ දෙවියන්වහන්සේගේ මේ ගෘහය යළි ඉදි කරන්නට කෝරෙෂ් රජු නියෝග කළේදැයි දැනගන්නා පිණිස, බබිලෝනියේ රාජකීය ලේඛනාගාර සෝදිසි කර බැලේවා! ඉන්පසු මේ කාරණය පිළිබඳ රජුගේ තීරණය අපට ද දන්වා එවීම මැනවි.





