YouVersion Logo
Search Icon

එස්රා 10

10
ජනතාවගේ පාපොච්චාරණය
1එස්රා යාච්ඤා කරමින්, පාපොච්චාරණ කරමින්, දෙවියන්වහන්සේගේ ගෘහය අබියස වැලපෙමින් හා මුණින් තළා වැටෙමින් සිටියදී පුරුෂයින්, ස්ත්‍රීන්, ළමයින් යන වශයෙන් ඉශ්‍රායෙල් මහත් ජනකායක් ඔහු වටා රැස් වූහ. ඔවුහු ද දුක්ඛිත ව වැලපුණහ. 2එවිට ඒලාම්ගේ පුතකු වූ යෙහීයෙල්ගේ පුත් ෂෙකනියා, එස්රා අමතමින්, “අප අවට සිටින ජනයින්ගෙන් අන්‍ය-ජාතික ස්ත්‍රීන් ආවාහ කර ගැනීමෙන් අපි අපගේ දෙවියන්වහන්සේගේ විශ්වාසය කඩකර ඇත්තෙමු. කෙසේ වෙතත් ඉශ්‍රායෙල්-අපට තවමත් බලාපොරොත්තුවක් තියේ. 3මගේ ස්වාමියාගේත්, අපගේ දෙවියන්වහන්සේගේ ආඥාවලට භය වන්නන්ගේත් උපදේශයට අනුව මේ සියලු ස්ත්‍රීන් සහ ඔවුන්ගේ දරුවන් පිටත් කොට යවන්නට දැන් අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට ගිවිසුමක් කරමු. එය ව්‍යවස්ථාවට අනුව කරනු ලැබේවා. 4නැගිටින්න; වගකීම ඇත්තේ ඔබ අතෙයි. අප ඔබ සමඟයි. ධෛර්යය ගෙන, ක්‍රියා කරන්නැ” යි පැවසී ය.
5එබැවින් එස්රා නැගිට, යෝජිත පරිදි කරන්නට ප්‍රධාන පූජකයින්, ලෙවීවරුන් හා මුළු ඉශ්‍රායෙල් ජනයා දිවුරුම් දීමට සැලැස්වී ය. එහෙයින් ඔවුහු දිවුරුම් දුන්හ. 6එවිට එස්රා, දෙවියන්වහන්සේගේ ගෘහය අබියසින් නික්ම, එලියාෂීබ්ගේ පුත් යෙහෝහානාන්ගේ කුටිය වෙත ගියේ ය. ඔහු එහි ගොස් කිසි අහරක් නො ගෙන, වතුර පවා නො බීය. මන්ද පිටුවහල් ව සිටියවුන්ගේ අවිශ්වාසවන්තකම ගැන ඔහු තවදුරටත් ශෝක වූයේ ය.
7පිටුවහල් ව සිට ආපසු පැමිණි සැවොම යෙරුසලමෙහි රැස් විය යුතු බවට යූදා හා යෙරුසලම පුරා නිවේදන කෙරිණි. 8තුන් දවසක් ඇතුළත යමකු නො පැමිණියහොත් නිලධාරීන්ගේ හා ප්‍රජා මූලිකයන්ගේ තීරණය අනුව ඔහුගේ සියලු දේපළ අහිමි කෙරේ. පිටුවාලුන්ගේ සමාජයෙන් ද ඔහු නෙරපා හැරේ.
9යූදා හා බෙන්යමින් සියලු මිනිස්සු දින තුනක් තුළදී යෙරුසලමට රැස් වූහ. නව වන මස, මාසයේ විසිවන දින මුළු ජනතාව දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහන් පිටියේ හිඳගෙන සිටියේ, ඒ බැරෑරුම් අවස්ථාවේ චකිතයත්, දැඩි වර්ෂාවත් නිසා වෙවුලමිනි. 10එවිට පූජක එස්රා නැගිට, ඔවුන් අමතමින්, “ඔබ විශ්වාසය කඩකොට, අන්‍ය-ජාතික ස්ත්‍රීන් පාවා ගෙන, ඉශ්‍රායෙල්හි වරද තවත් වැඩි කර ඇත; 11දැන් ස්වාමින්වහන්සේට, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට පාපොච්චාරණ කර, උන්වහන්සේගේ කැමැත්ත කරන්න; ඔබ අවට සිටින ජාතීන්ගෙන් හා ඔබේ අන්‍ය-ජාතික බිරියන්ගෙන් වෙන් වන්නැ” යි පැවසී ය.
12මුළු සභාව මහත් හඬින් ප්‍රතිචාර දැක්වූහ. “ඔබ නිවැරදියි! ඔබ කී ලෙස අප කළ යුතුයි. 13එහෙත් මෙහි විශාල සෙනඟකි; ඇරත් මේ වර්ෂා කාලය ය; ඒ නිසා අපට මෙසේ එළිමහනේ සිටගෙන සිටිය නො හැකියි. ඒ හැරුණු කොට මේ කාරණය දවසකින් දෙකකින් විසඳිය හැක්කක් නො වේ. මෙතැනදී අපි මහත් සේ පව් කර ඇත්තෙමු. 14මේ මුළු සභාව උදෙසා අපගේ නිලධාරීන් ක්‍රියා කරත්වා. මේ සම්බන්ධ ව දෙවියන්වහන්සේගේ බලවත් කෝපය අප වෙතින් පහවන තුරු, අන්‍ය-ජාතික ස්ත්‍රීන් පාවා ගත් අප නගරවල වෙසෙන හැම කෙනෙක් ම නියමිත වේලාවකදී ඒ ඒ නගරයේ ප්‍රජා මූලිකයින් හා විනිසුරුවන් සමඟ පැමිණෙත්වා” යි පැවසූහ. 15එයට විරුද්ධ වූයේ අසාහෙල්ගේ පුත් යොනාතාන් හා තික්වාගේ පුත් යාසෙයා පමණි. මෙෂුල්ලාම් හා ලෙවීය ෂබ්බෙතයි ඔවුන්ට සහයෝගය දුන්හ.
16මෙසේ පිටුවහල් ව සිට ආපසු පැමිණි අය එසේ කළහ. පූජක එස්රා එක් පියවංශයකට එක් කෙනකු බැගින් පියවංශ ප්‍රධානීන් තෝරා, ඔවුන් සියල්ලන් නම් වශයෙන් පදවි පත් කළේ ය. ඒ දෑ විභාග කරන පිණිස දස වන මස පළමු දින ඔවුහු අසුන් ගත්හ. 17මෙසේ ඔවුහු විදෙස් කාන්තාවන් ආවාහ කර ගෙන සිටි මිනිසුන් පිළිබඳ කටයුතු පළමු මස පළමුවෙනි දා අවසන් කළහ.
තහනම් ආවාහ විවාහ
18විදෙස් කාන්තාවන් ආවාහ කර ගෙන සිටි පූජක පුතුන් කවුරුදැයි දැනගන්නා ලදී:
යෝසාදාක්ගේ පුත් යේෂුවාගෙන් පැවත එන ඇතමෙක් සහ ඔහුගේ සහෝදරයින්:
මාසේයා, එලියේසර්, යාරිබ් හා ගෙදලියා. 19තම භාර්යාවන් අත්හරින වගට දිවුරුම් දුන් ඔවුහු තම අපරාධය උදෙසා එකිනෙකා රැළෙන් බැටළුවකු ගෙනවුත්, අපරාධ පූජාවක් හැටියට ඔප්පු කළහ.
20ඉම්මේර්ගේ පුත්‍රයින්:
හනානී හා සෙබදියා.
21හාරිම්ගේ පුත්‍රයින්:
මාසේයා, එලියා, ෂෙමායා, යෙහීයෙල් හා උස්සියා.
22පෂ්හූර්ගේ පුත්‍රයින්:
එල්යෝවේනයි, මාසේයා, ඉෂ්මායෙල්, නෙතනේල්, යෝසාබාද් හා එලෙයාසා.
23ලෙවීවරුන් අතරෙන්:
යෝසාබාද්, ෂිමෙයි, කේලායා හෙවත් කෙලීටා, පෙතහියා, යූදා හා එලියේසර්.
24ගායකයන්ගෙන්:
එලියාෂීබ්.
දොරටුපාලයන්ගෙන්:
ෂල්ලූම්, ටෙලෙම් හා ඌරී.
25සෙසු ඉශ්‍රායෙල්වරුන් අතරෙන්:
පරොෂ්ගේ පුත්‍රයින්:
රමියා, ඉස්සීයා, මල්කීයා, මියාමින්, එලෙයාසර්, මල්කීයා#10:25 මල්කීයා ග්‍රීක් හෂාබියා හා බෙනායා.
26ඒලාම්ගේ පුත්‍රයින්:
මත්තනියා, සෙකරියා, යෙහීයෙල්, අබ්දි, යෙරේමොත් හා එලියා.
27සත්තූගේ පුත්‍රයින්:
එල්යෝවේනයි, එලියාෂීබ්, මත්තනියා, යෙරේමොත්, සාබාද් හා අසීසා.
28බේබයිගේ පුත්‍රයින්:
යෙහෝහානාන්, හනනියා, සබ්බයි හා අත්ලායි.
29බානීගේ පුත්‍රයින්:
මෙෂුල්ලාම්, මල්ලූක්, අදායා, යාෂුබ්, ෂෙයාල් හා යෙරේමොත්.
30පාහත්-මෝවබ්ගේ පුත්‍රයින්:
අද්නා, කෙලාල්, බෙනායා, මාසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නූයි හා මනස්සේ.
31හාරිම්ගේ පුත්‍රයින්:
එලියේසර්, ඉෂ්ෂීයා, මල්කීයා, ෂෙමායා, ෂිමියොන්, 32බෙන්යමින්, මල්ලූක් හා ෂෙමරියා.
33හාෂුම්ගේ පුත්‍රයින්:
මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිෆෙලෙත්, යෙරේමයි, මනස්සේ හා ෂිමෙයි.
34බානීගේ පුත්‍රයින්:
මාදයි, අම්රාම්, ඌවේල්, 35බෙනායා, බේදෙයා, කෙලූහූ, 36වනියා, මෙරේමොත්, එලියාෂීබ්, 37මත්තනියා, මත්තෙනයි හා යාසායි.
38බින්නූයිගේ පුත්‍රයින්#10:38 බින්නූයිගේ පුත්‍රයින් හෙබ්‍රෙව් බානී හා බින්නූයි:
ෂිමෙයි, 39ෂෙලෙමියා, නාතාන්, අදායා, 40මක්නදෙබයි, ෂාෂයි, ෂාරායි, 41අසරේල්, ෂෙලෙමියා, ෂෙමරියා, 42ෂල්ලූම්, අමරියා හා යෝසෙප්.
43නෙබෝගේ පුත්‍රයින්:
යෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබීනා, යද්දයි, යෝවෙල් හා බෙනායා.
44ඒ සියල්ලෝ විදෙස් කතුන් ආවාහ කර ගෙන සිටියහ. ඔවුන්ගෙන් ඇතමකුට එම බිරියන්ගෙන් දරුවෝ පවා සිටියහ.#10:44 හෝ ඔවුන් සහ ඔවුන්ගෙන් ලැබූ දරුවෝ නෙරපා හරින ලදහ.

Currently Selected:

එස්රා 10: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in