එසකියෙල් 34:11-24
එසකියෙල් 34:11-24 SCV
“ ‘මන්ද පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම පෞද්ගලික ව ම මගේ බැටළු රැළ සොයා, ඔවුන් රැක බලා ගනිමි. විසිර ගිය බැටළු රැළ අතරේ සිටින එඬේරකු තම රැළ රැක බලාගන්නා සේ, මමත් මගේ බැටළුවන් රැක බලා ගනිමි. වලාකුළින් බර අඳුරු දවසක විසුරුවා දමනු ලැබූ හැම තැනකින් ම මම ඔවුන් මුදා ගන්නෙමි. මම ජාතීන් වෙතින් ඔවුන් පිටතට ගෙනෙන්නෙමි. රට-රටවලින් ඔවුන් එක් රැස් කරන්නෙමි. මම ඔවුන්ගේ ම දේශයට ඔවුන් රැගෙන එන්නෙමි. ඉශ්‍රායෙල් කඳුවලදීත්, දෙණිවලදීත් දේශයෙහි ඔවුන්ගේ වාසස්ථානවලදීත් මම ඔවුන් පෝෂ්‍ය කරන්නෙමි. මම සරු ගොදුරු බිමෙක ඔවුන් රැක බලා ගන්නෙමි. ඉශ්‍රායෙල්හි කඳු මුඳුන් ඔවුන්ගේ ගොදුරු බිම් වනු ඇත. එහිදී ඉශ්‍රායෙල් කඳු මත ඇති සරු ගොදුරු බිමෙහි ඔවුන් ලගිනු ඇත. එහිදී, ඉශ්‍රායෙල් කඳුවල ඇති සරු තණ බිම්වල පෝෂණය වනු ඇත. මගේ බැටළුවන් මම රැක බලා ගන්නෙමි. මම ඔවුන්ට සැනසිල්ලේ ගත කරන්නට සලස්සමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම නැතිවූවන් සොයා, මංමුළා වූවන් ආපසු ගෙනෙන්නෙමි. මම තුවාලවූවන්ට බෙහෙත් බැඳ දුබලවූවන් නගා සිටුවන්නෙමි. එහෙත්, තරවුන් හා බලගතුවුන් විනාශ කර දමන්නෙමි. මම යුක්ති සහගත ව රැළ බලා ගන්නෙමි. “ ‘මගේ රැළ, නුඹලා ගැන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම බැටළුවකු හා බැටළුවකු අතරේ ද බැටළුවන් හා එළුවන් අතරේ ද විනිශ්චය කරමි. සරු තණ බිමෙක තණ කෑම පමණක් නුඹලාට නො සෑහේ ද? නුඹලාගේ තණ බිමෙහි ඉතිරි තණ නුඹලාගේ පයින් පාගා දැමීම යුතු ද? පිවිතුරු දිය බීම පමණක් නුඹලාට නො සෑහේ ද? සෙසු ජලය පාගා බොරකර දැමීම යුතු ද? මගේ රැළ අහරට ගත යුත්තේ නුඹලා පාගා දැමූ දේ ද? ඔවුන් පානය කළ යුත්තේ නුඹලාගේ පයින් බොරකර දැමූ දේ ද? “ ‘එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ ඔවුන්ට මෙසේ පවසන සේක: මෙන්න! මම තර බැටළුවන් හා කෘශ බැටළුවන් අතරේ මවිසින් ම විනිශ්චය කරමි. නුඹලා ඇලපතින් ද උරහිසින් ද තල්ලුකරමින් සියලු දුර්වල බැටළුවන් ඉවතට පලා යන තෙක් ඔවුන්ට නුඹලාගේ අංවලින් ඇන්න බැවින්, මම මගේ රැළ මුදා ගනිමි. මින් මතු ඔවුන් පැහැර ගැනීමකට ලක් නො වේ. බැටළුවකු හා බැටළුවකු අතරේ මම විනිශ්චය කරමි. මම ඔවුනට එක් එඬේරකු, මගේ සේවක දාවිත් පත් කරමි. ඔහු ඔවුන් පෝෂ්‍ය කරනු ඇත. ඔහු ඔවුන් පෝෂ්‍ය කරමින්, ඔවුන්ගේ එඬේරා වනු ඇත. ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වනු ඇත. ස්වාමින්වහන්සේ වන මම එසේ පැවසීමි.





