YouVersion Logo
Search Icon

එසකියෙල් 15

15
නිෂ්ප්‍රයෝජන මිදි වැල
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, වනයේ කවර හෝ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීය හොඳ වන්නේ කෙසේ ද? 3වැඩකට ඇති දෙයක් සාදන්නට එයින් ලී ගත හැකි ද? යමක් එල්ලන ඇණයක්වත් ඉන් සාදාගත හැකි ද? 4එය ගින්නට දර පිණිස දැමූ කල එහි දෙකොන ම ගින්නෙහි දැවී, එහි මැද කොටස අඟුරක් වූ කල, ඉන් වැඩක් ගත හැකි ද? 5එය අංග සම්පූර්ණ ව තිබියදී කිසි ප්‍රයෝජනයක් නො තිබිණි නම්, ගින්නට හසුව අඟුරක් වූ කල ඉන් කවර නම් ප්‍රයෝජනයක් ද?
6“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: වනයේ ගස් අතරේ වූ මිදි වැලේ ලීය, මා ගින්නට දර පිණිස දී ඇති පරිදි යෙරුසලමෙහි වෙසෙන ජනයාට ද කරන්නෙමි. 7මම මගේ මුහුණ ඔවුන්ට එරෙහිව යොමන්නෙමි. ඔවුන් ගින්නෙන් පිටතට පැමිණිය ද, ගින්න කොහොමටත් ඔවුන් දවාලන්නේ ය. ඔවුන්ට එරෙහිව මා මගේ මුහුණ යොමු කළ කල්හි ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගනු ඇත. 8මගේ ජනයා මට අවිශ්වාසවන්ත වූ බැවින් මම දේශය පාළුවක් කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක” යනුවෙනි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in