YouVersion Logo
Search Icon

නික්මයාම 3:1-10

නික්මයාම 3:1-10 SCV

මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන් පූජක යෙත්රෝගේ එළු බැටළු රංචුව බලා ගත්තේ ය. ඔහු සත්ව රංචුව පාළුකරයේ බටහිර පැත්තට ගෙන ගොස්, හොරේබ් හෙවත් දෙවියන්වහන්සේගේ කන්ද වෙත පැමිණියේ ය. එහිදී ස්වාමින්වහන්සේගේ දූතයා, පඳුරක් මැද ගිනි ජාලාවක ඔහුට පෙනුණි. ඔහු බැලූ කල, මෙන්න! පඳුර ගිනි ඇවිළෙන නමුත්, දැවී ගියේ නැත. එවිට මෝසෙස්, “මම එතැනට ගොස්, පඳුර නො දැවෙන්නේ මන්ද කියා ඒ පුදුම දර්ශනය බලන්නෙමි” යි කීවේ ය. ඔහු පඳුර බලන පිණිස හැරී ගිය වග ස්වාමින්වහන්සේ දුටු කල, දෙවියන්වහන්සේ ඔහුට අඬගසමින්, “මෝසෙස්! මෝසෙස්!” යැයි ඇමතූ සේක. “මෙන්න, මම” යි ඔහු පැවසී ය. එවිට උන්වහන්සේ, “තවත් ළං නො වනු! ඔබේ පාවහන් ගලවනු. මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි” යි පැවසූ සේක. උන්වහන්සේ තවදුරටත්, “ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක. මෙවිට මෝසෙස් තම මුහුණ සඟවා ගත්තේ ය. දෙවියන්වහන්සේ දෙස බැලීමට ඔහු භය විය. එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඊජිප්තුවේදී මගේ ජනයාගේ දුක්ඛිතභාවය මම හොඳින් ම දුටිමි. තම වැඩ විදානේවරුන් නිසා ඔවුන් නගන අඳෝනාව මම ඇසීමි. ඔවුන් විඳින පීඩාව මම දනිමි. එනිසා ඊජිප්තුවරුන් අතින් ඔවුන් මුදා ගන්නටත්, ඒ දේශයෙන් පිටතට ඔවුන් ගෙනැවිත්, සාරවත් සුවිසල් දේශයකට, එනම් කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද නිවහන වූ කිරි හා පැණි ගලා යන දේශයකට ඔවුන් ගෙන යන්නටත් මම පහළ බැස ආවෙමි. මෙන්න, දැන්! ඉශ්‍රායෙල් ජනයාගේ අඳෝනාව මා වෙත ළඟා වෙලා! ඊජිප්තුවරුන් ඔවුන්ට පීඩා කරන හැටි ද මම දැක්කෙමි. එබැවින් දැන් එන්න; මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන පිණිස, පාරාවෝ වෙත මම ඔබ යවන්නෙමි” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 3:1-10