නික්මයාම 23:1-19
නික්මයාම 23:1-19 SCV
“බොරු ආරංචි පතළ නො කළ යුතු ය. නපුරු සාක්ෂියකට එකඟ වෙමින්, දුෂ්ට මිනිසකුට සහාය නො දිය යුතු ය. “නපුර කිරීමට බොහෝ දෙනාගේ පැත්ත නො ගන්න; යුක්තිය පෙරළීම පිණිස, නඩු විභාගයක සාක්ෂි දීමේදී ද ඔබ බොහෝ දෙනාගේ පැත්ත නො ගත යුතු ය. නඩු විභාගයකදී දුප්පතකුට ඔබ පක්ෂග්රාහී නො විය යුතු ය. “ඔබගේ එදිරිවාදියාගේ ගවයා හෝ බූරුවා හෝ මංමුළා ව යනු ඔබට හමු වුවහොත්, ඔබ ඌ ඔහු වෙත ගෙන ආ යුතු ම ය. ඔබට වෛර කරන්නකුගේ බූරුවා බඩු බරින් ඇද වැටී සිටිනු ඔබ දුටු කල, එය මග හැර නො යා, ඒ මිනිසාට ඒ අවස්ථාවේ උදවු දිය යුතු ම ය. “ඔබගේ දුගී ජනයාගේ නඩු හබවලදී ඔවුනට යුක්තිය ඉටු කිරීම පැහැර නො හරින්න. බොරු පැමිණිල්ලකට මැදිහත් නො වන්න; අහිංසකයකු හෝ දමිටුවකු මරන්නට හවුල් නො වන්න. මන්ද මා වරදකරුවා මුදා හරින්නේ නැත. “අල්ලස් නො ගන්න. මන්ද අල්ලස, පැහැදිලි දැක්ම අන්ධ කර, නිර්දෝෂී තැනැත්තාගේ යුක්තිය කණපිට පෙරළවයි. “විදේශිකයකුට පීඩා නො කරන්න. විදේශිකයකුගේ හැඟීම් මොනවාදැයි ඔබ හොඳින් දනී. මන්ද ඔබත් ඊජිප්තුවේ විදේශීන් ව සිටි බැවිනි. “හය අවුරුද්දක් ඔබේ බිම් වපුරා අස්වනු නෙළා ගන්න. එහෙත් හත් වන අවුරුද්දේ කෙත් වතු පුරන් ව තිබෙන්නට හැරිය යුතු ය. ප්‍රයෝජනයට නො ගත යුතු ය. ඔබේ ජනයා අතරේ දුගී අය එයින් අහර සපයා ගත්තා වේ. ඔවුන් ඉතිරි කරන දෑ වන සතුන්ගේ භුක්තියට ය. ඔබගේ මිදි වත්තට හා ඔබගේ ඔලීව උයනට අදාළ ව ද එසේ කරන්න. “හය දවසක් ඔබට ඔබේ වැඩ කර ගත හැකි ය. එහෙත් හත් වන දවසේ ඔබ විවේක ගත යුතු ය. එසේ කළ යුත්තේ, ඔබේ ගවයාට හා බූරුවාට විවේක ලැබෙන පිණිසත්, ඔබේ දාසියගේ පුතුට හා විදෙස්සාට වෙහෙස නිවා, යළි ප්රබෝධය ලැබෙන පිණිසත් ය. “මා ඔබට කී හැම දෙයක් ම කරන්නට වග බලා ගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නො කරනු; ඒවා ඔබේ තොල් අතරින් පිට වනු නො ඇසේවා. “අවුරුද්දකට තුන් වරක් ඔබ මට මංගල්‍යයක් පැවැත් විය යුතු ය. “ඔබ මුහුන් නුමුසු රොටි මංගල්‍යය පැවැත් විය යුතු ය. මා ඔබට අණ කළ පරිදි දවස් හතක් මුහුන් රහිත රොටි අනුභව කළ යුතු ය. ආබීබ් මාසයේ ඊට නියමිත දවස්හි එය කරන්න. මන්ද ඔබ ඊජිප්තුවෙන් පිටතට ආවේ ඒ මාසයේ ය. “කිසිවකු හෝ මා ඉදිරියට හිස් අතින් නො පැමිණිය යුතු ය. “ඔබේ කෙත් වත්හි ඔබ වැපුරූ දැයින් ඔබේ පලදාවේ ප්‍රථම පලවලින් අස්වනු මංගල්‍යය පවත්වන්න. “වසර අවසානයේ ඔබේ කෙත් වතුවල ඔබේ පලදාව එක් රැස් කරන කල, පල එක් රැස් කිරීමේ මංගල්‍යය පවත්වන්න. “අවුරුද්දකට තුන් වරක් ඔබේ සියලු පිරිමින් පරමාධිපති ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. “මගේ යාග පූජා ලේ සමඟ මුහුන් සහිත කිසිවක් මට ඔප්පු නො කළ යුතු ය. “මගේ මංගල්‍ය පූජාවල මේදය උදය වන තුරු නො තබා ගත යුතු ය. “ඔබේ භූමියේ ප්‍රථම පලවල හොඳ ම දේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහයට රැගෙන ආ යුතු ය. “එළු පැටවකු උගේ ම මවගේ කිරෙන් නො පිසින්න.




