නික්මයාම 2:1-15
නික්මයාම 2:1-15 SCV
එකල, ලෙවී වංශික මිනිසෙක් ගොස්, ලෙවීය කාන්තාවක ආවාහ කොට ගත්තේ ය. ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහු සුන්දර ළමයකු වග දුටු ඈ, තුන් මසක් ඔහු සඟවා තබා ගත්තා ය. එහෙත්, තවදුරටත් ඔහු සඟවා තැබිය නො හැකි වූ කල, ඈ පන් කූඩයක් ගෙන, ඒ වටා කීල් හා මැලියම් තවරා, පසුව දරුවා ඒ තුළ බහා, නයිල් ගං ඉවුරේ බට පඳුරු අතරේ තැබුවා ය. ඔහුට කුමක් වන්නේ දැයි බලන්නට ඔහුගේ සොහොයුරිය ඈතට වී බලා සිටියා ය. මේ අතර, පාරාවෝගේ දියණිය දිය නෑමට, නයිල් ගඟට ආවා ය. ඇගේ පරිවාර ළදුන් ගං ඉවුරේ ඇවිදිමින් සිටියදී, ඈ බට පඳුරු අතරේ වූ කූඩය දැක, තම දාසිය යවා, එය ගෙන්වා ගත්තා ය. ඈ එය විවර කළ විට, ළදරුවා දුටුවා ය. බිළිඳා සිටියේ හඬමිනි. ඈ ඔහුට අනුකම්පා කළා ය. “මේ හෙබ්‍රෙව් ළදරුවෙකැ” යි ඈ කීවා ය. මෙවිට, ඔහුගේ සහෝදරිය, පාරාවෝගේ දියණිය අමතමින්, “මා ගොස්, දරුවාට කිරි දෙන්නට හෙබ්‍රෙව් කාන්තාවන්ගෙන් කිරි මවක් කැඳවාගෙන එන්න දැ?” යි ඇසුවා ය. පාරාවෝගේ දියණිය, “හොඳයි, යන්නැ” යි ඇයට කීවා ය. එවිට ඒ දැරිවි පිට වී ගොස්, දරුවාගේ මව කැඳවාගෙන ආවා ය. එවිට පාරාවෝගේ දියණිය ඇය අමතමින්, “මේ දරුවා ගෙන ගොස්, මා වෙනුවෙන් කිරි දී, පෝෂ්‍ය කරන්න. මම ඔබට ගාස්තුව ගෙවන්නෙමි” යි කීවා ය. එබැවින් ඒ කාන්තාව දරුවා ගෙන ගොස්, කිරි දී, ඔහු පෝෂ්‍ය කළා ය. දරුවා වැඩුණු පසු ඈ, පාරාවෝගේ දියණිය වෙත ඔහු කැඳවාගෙන ගියා ය. ඔහු ඇගේ පුත්‍රයා බවට පත් විය. “මම දියෙන් ඔහු ඇද ගතිමි” යි කියමින්, ඈ ඔහුට මෝසෙස් යන නම තැබුවා ය. මෝසෙස් මේරූ වියට පැමිණි පසු, දිනක් තම සහෝදර ජනයා දකින්නට පිටතට ගොස්, ඔවුන්ගේ බර වැඩ බලා සිටියේ ය. මෙවිට තම සහෝදර හෙබ්‍රෙව්වකුට ඊජිප්තු ජාතිකයකු පහර දෙනු ඔහු දුටුවේ ය. ඒ මේ අත බැලූ ඔහු, කිසිවකු නැති වග දැක, ඊජිප්තු ජාතිකයා මරා, වැල්ලේ සැඟවී ය. පසු දින ඔහු පිටතට ගිය කල, හෙබ්‍රෙව්වන් දෙදෙනකු දබර කර ගනු දුටුවේ ය. එවිට වරද කරන මිනිසා ඇමතූ ඔහු, “තමන්ගේ ම මිනිසකුට පහර දෙන්නේ ඇයි දැ?” යි ඇසී ය. එවිට ඒ මිනිසා පිළිතුරු දෙමින්, “අපේ පාලකයා හා විනිශ්චයකාරයා ලෙස නුඹ පත් කළේ කවුරු ද? අර ඊජිප්තුවා මරා දැමූ සේ මාත් මරා දමන්න ද කල්පනාව?” යි කීවේ ය. එයින් මෝසෙස් භය විය. “මා කළ දේ එළිවෙලා!” යි ඔහු සිතී ය. පාරාවෝට මේ වග සැල වූ කල, මෝසෙස් මරා දැමීමට ඔහු වැර දැරී ය. එහෙත් මෝසෙස්, පාරාවෝ වෙතින් පලා ගොස්, වාසය පිණිස මිදියන් දේශයට අවුත්, එහි වූ ළිඳක් අසල හිඳ ගත්තේ ය.





