YouVersion Logo
Search Icon

නික්මයාම 2:1-10

නික්මයාම 2:1-10 SCV

එකල, ලෙවී වංශික මිනිසෙක් ගොස්, ලෙවීය කාන්තාවක ආවාහ කොට ගත්තේ ය. ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහු සුන්දර ළමයකු වග දුටු ඈ, තුන් මසක් ඔහු සඟවා තබා ගත්තා ය. එහෙත්, තවදුරටත් ඔහු සඟවා තැබිය නො හැකි වූ කල, ඈ පන් කූඩයක් ගෙන, ඒ වටා කීල් හා මැලියම් තවරා, පසුව දරුවා ඒ තුළ බහා, නයිල් ගං ඉවුරේ බට පඳුරු අතරේ තැබුවා ය. ඔහුට කුමක් වන්නේ දැයි බලන්නට ඔහුගේ සොහොයුරිය ඈතට වී බලා සිටියා ය. මේ අතර, පාරාවෝගේ දියණිය දිය නෑමට, නයිල් ගඟට ආවා ය. ඇගේ පරිවාර ළදුන් ගං ඉවුරේ ඇවිදිමින් සිටියදී, ඈ බට පඳුරු අතරේ වූ කූඩය දැක, තම දාසිය යවා, එය ගෙන්වා ගත්තා ය. ඈ එය විවර කළ විට, ළදරුවා දුටුවා ය. බිළිඳා සිටියේ හඬමිනි. ඈ ඔහුට අනුකම්පා කළා ය. “මේ හෙබ්‍රෙව් ළදරුවෙකැ” යි ඈ කීවා ය. මෙවිට, ඔහුගේ සහෝදරිය, පාරාවෝගේ දියණිය අමතමින්, “මා ගොස්, දරුවාට කිරි දෙන්නට හෙබ්‍රෙව් කාන්තාවන්ගෙන් කිරි මවක් කැඳවාගෙන එන්න දැ?” යි ඇසුවා ය. පාරාවෝගේ දියණිය, “හොඳයි, යන්නැ” යි ඇයට කීවා ය. එවිට ඒ දැරිවි පිට වී ගොස්, දරුවාගේ මව කැඳවාගෙන ආවා ය. එවිට පාරාවෝගේ දියණිය ඇය අමතමින්, “මේ දරුවා ගෙන ගොස්, මා වෙනුවෙන් කිරි දී, පෝෂ්‍ය කරන්න. මම ඔබට ගාස්තුව ගෙවන්නෙමි” යි කීවා ය. එබැවින් ඒ කාන්තාව දරුවා ගෙන ගොස්, කිරි දී, ඔහු පෝෂ්‍ය කළා ය. දරුවා වැඩුණු පසු ඈ, පාරාවෝගේ දියණිය වෙත ඔහු කැඳවාගෙන ගියා ය. ඔහු ඇගේ පුත්‍රයා බවට පත් විය. “මම දියෙන් ඔහු ඇද ගතිමි” යි කියමින්, ඈ ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 2:1-10