YouVersion Logo
Search Icon

එස්තර් 9:24-32

එස්තර් 9:24-32 SCV

මන්ද සියලු යුදෙව්වරුන්ගේ හතුරා වන අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්, යුදෙව්වරුන් වනසා දැමීමට ඔවුනට එරෙහිව කුමන්ත්‍රණ කොට, ඔවුන් වනසා, නැති-භංග කර දැමීමට පූර් නම් වූ පස ඇට දමා තිබිණි. එහෙත් එම කුමන්ත්‍රණය රජුගේ අවධානයට ලක් කරනු ලැබූ කල, හාමාන් විසින් යුදෙව් ජනයාට එරෙහිව යොදා තිබූ ප්‍රයෝගකාරී වැඩ පිළිවෙළ ඔහුගේ ම හිස මතට කැරකී ඒමට ද ඔහුත්, ඔහුගේ පුත්‍රයනුත් පෝරකයෙහි එල්ලා දමනු ලැබීමටත් නියෝග ලියවිලි නිකුත් කෙරිණි. එබැවින් පූර් යන වදනට අනුකූලව මෙම දවස් පූරීම් නමින් හැඳින්විණ. මෙම ලිපියේ ලියා තිබූ සියල්ල නිසාත්, ඔවුන් ම දැක තිබූ දෑ හා ඔවුන්ට සිදු වූ දෑ නිසාත්, යුදෙව්වරු එම දෙදින සැමරීමේ චාරිත්‍රය ස්ථාපිත කිරීමේ වගකීම භාර ගත්හ. එනම් ඔවුන් ද ඔවුන්ගෙන් පැවත එන්නන් ද ඔවුන් සමඟ එක් වූ සියල්ලන් ද විසින් නියම කළ අයුරින් ම, නියම කළ කාලයට ම අවුරුදු පතා නොවැරදීම ඒ දෙදින ප්‍රීති උත්සව පැවැත්වීමයි. මේ දෙදවස් පරපුරින් පරපුරට හැම පවුලක් විසින් ම, හැම ප්‍රාන්තයක, හැම නගරයක සැමරිය යුතු විණි; පැවැත් විය යුතු විණි. මෙම පූරීම් දවස් පැවැත්වීම යුදෙව්වරුන් විසින් කිසි කලෙකත් නො නැවැත්විය යුතු විය. එම දවස් පිළිබඳ මතකය ද ඔවුන්ගෙන් පැවතෙන්නන් වෙතින් මැකී නො යා යුතු විය. එබැවින් අබිහයිල්ගේ දියණිය වූ එස්තර් බිසව, යුදෙව්වර මොර්දෙකයි හා එක් ව, “පූරීම්” සම්බන්ධයෙන් මෙම දෙවන ලිපිය සහතික කරමින්, ඇගේ පූර්ණ ආධිපත්‍යයෙන් යුතු ව ලිව්වා ය. අහෂ්වේරොෂ් රාජධානියේ ප්‍රාන්ත එකසිය විසිහතේ සියලු යුදෙව්වරුන් වෙත ශාන්තියේත්, සුරක්ෂිත භාවයේත් වදනින් යුතු ලිපි යැවූ මොර්දෙකයි, යුදෙව්වරුන් ද ඔවුන්ගෙන් පැවත එන්නන් ද උදෙසා උපවාසයේ හා වැලපීමේ කාල සම්බන්ධ ව, ඔවුන් ම ස්ථාපිත කළ පරිදි හා යුදෙව්වර මොර්දෙකයි ද එස්තර් බිසව ද ඔවුන්ට නියෝග දී තිබූ පරිදි, නියමිත දවස්වල පූරීම් සමරන ලෙස දැන්වී ය. පූරීම් පිළිබඳ මෙම චාරිත්‍ර එස්තර්ගේ නියෝගයෙන් ස්ථිර කෙරිණි. එය ලේඛනගත කරන ලදී.

Free Reading Plans and Devotionals related to එස්තර් 9:24-32