එස්තර් 1:1-8
එස්තර් 1:1-8 SCV
අහෂ්වේරොෂ් රජුගේ දවස්හි, එනම් ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක් පාලනය කළ අහෂ්වේරොෂ් රාජ සමයේ අහෂ්වේරොෂ් රජු, බළකොටු නුවර වූ ෂූෂන්හි තම සිංහාසනයේ හිඳ, රජකම් කරමින්, ඔහුගේ පාලන සමයේ තෙවන වසරේ ඔහු තමාගේ සියලු අධිපතීන්ට හා නිලධාරීන්ට ප්‍රිය සාදයක් පැවැත්වී ය. පර්සියාවේ හා මේදියාවේ හමුදා නායකයෝ ද වංශාධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද ඔහු ඉදිරියේ වූහ. බොහෝ දවසක්, පුරා එකසිය අසූ දවසක් ඔහු තම රාජකීය තේජසේ ධන සම්පත්තියත්, තම රාජශ්‍රීයේ අලංකාරය හා විභූතියත් ප්‍රදර්ශන කළේ ය. ඒ දවස් සම්පූර්ණ වූ පසු, ෂූෂන් බළකොටුවේ සිටි ලොකු කුඩා හැම දෙනාට රජ මැදුර වටා වූ උයනේ හත් දවසක් පුරා, ප්‍රිය සාදයක් පැවැත්වී ය. රජ උයනේ, සුදු හා නිල් පැහැ හණ රෙදි තිර, සුදු පැහැ හණ පටියෙන් හා දම් පැහැ පීත්ත පටියෙන් බැඳ, රිදී මුදුවල සවි කොට, කිරිගරුඬ කුලුනුවල එල්ලා තිබිණි. වෛවර්ණ ගරුඬ, කිරිගරුඬ, මුතු හා මැණික් ගලින් කරන ලද පාදිකාවක් මත, රන් කවිච්චි හා රිදී කවිච්චි විණි. මිදි යුෂ පිළිගන්වන ලද්දේ රන් කුසලානවලිනි. එකකට එකක් වෙනස් වූ කුසලානවලිනි. රජුගේ ත්‍යාගවත්කමට සරිලන සේ රාජකීය මිදි යුෂ ඕනෑ තරම් තිබිණි. රාජ නියෝගය පරිදි හැම කෙනකුට ම, සිය කැමැත්ත ලෙස බීම ගැනීමට ඉඩ හරින ලදී. හැම කෙනකුට ම ඒ ඒ අයගේ මනාපය පරිදි බීම පිළිගන්වන්නැයි මිදි යුෂ බාරකරුවනට රජු උපදෙස් දී තිබිණි.





