YouVersion Logo
Search Icon

දේශනාකරු 7

7
ප්‍රඥාව
1හොඳ නාමය, අනර්ඝ සුවඳ විලවුන්වලට වඩා හොඳ ය.
මිය යන දවස, උපදින දවසට වඩා හොඳ ය.
2උත්සව ගෙදරට යනවාට වඩා,
ශෝක වන ගෙදරට යෑම හොඳ ය.
මන්ද ඒක හැම කෙනකුගේ ම අවසානයයි.
ජීවත්වන්නෝ එය සිතට ගත යුත්තෝ ය.
3ශෝකය, සිනහවට වඩා හොඳ ය;
මන්ද ශෝකී මුහුණ, හදවතට හොඳ ය.
4ප්‍රඥාවන්තයාගේ හදවත ඇත්තේ ශෝකයේ ගෙදර ය;
එහෙත් අඥානයින්ගේ හදවත ඇත්තේ විනෝදයේ ගෙදර ය.
5ප්‍රඥාවන්තයකුගේ තරවටුවට සවන් දීම,
අඥානයින්ගේ ගීයක් අසනවාට වඩා හොඳ ය.
6අඥානයින්ගේ සිනාව,
හැළියක් යට ගින්නේ කටු දර පුපුරන්නා වැන්න;
මෙය ද නිරර්ථක ය.
7බලහත්කාරය, ප්‍රඥාවන්තයා මෝඩයකු කරවයි,
අල්ලස, හදවත දූෂ්‍ය කරයි.
8යම් දෙයක අවසානය එහි පටන් ගැන්මට වඩා හොඳ ය.
ඉවසිලි ආත්මයක් ඇත්තා, අහංකාර ආත්මයක් ඇත්තාට වඩා හොඳ ය.
9ඔබගේ ආත්මයෙන් කෝපවීමට ඉක්මන් නො වන්න;
මන්ද කෝපය ලැග සිටින්නේ, අඥානයාගේ ළයෙහි ය.
10“පළමු දවස් මේවාට වඩා හොඳ ව තිබුණේ ඇයි දැ?” යි නො කියන්න.
මන්ද එබඳු ප්‍රශ්න කිරීම් නුවණට හුරු නැත.
11උරුමයක් සේ ම ප්‍රඥාව ද හොඳ දෙයකි;
හිරු දකින්නන්ට එය ලාභයක් ය.
12ධනය, රැකවරණයක් වන්නා සේ ම
ප්‍රඥාව ද රැකවරණයකි.
අවබෝධයෙහි ඇති වාසිය වන්නේ:
ප්‍රඥාව එය හිමි ව සිටින්නාගේ ජීවිතය ආරක්ෂා කර දීමයි.
13දෙවියන්වහන්සේ කර ඇති දෑ කල්පනාවට ගන්න:
උන්වහන්සේ වක ගැසූ දේ
කෙළින් කළ හැක්කේ කවරකුට ද?
14සමෘද්ධිමත් කාලයේදී ප්‍රීති වන්න;
විපත්ති කාලයේදී මෙය කල්පනාවට ගන්න:
එය ද මෙය ද නිම වන ලද්දේ
දෙවියන්වහන්සේ විසිනි;
එබැවින් තමාට පසු සිදුවන කිසිවක්
මිනිසාට දැනගත නො හැකි ය.
15නිරර්ථක මගේ ජීවිතයේදී මම මේ සියල්ල ම දැක ඇත්තෙමි:
එනම්, දමිටු මිනිසා තම දමිටුකමෙහි ම වැනසී යෑමත්,
දුෂ්ට මිනිසා තම දුෂ්ටකමෙහි දිගු කල් ජීවත් වීමත් ය.
16අධි ධර්මිෂ්ඨයකු නො වන්න;
අති පණ්ඩිතයකු ද නො වන්න.
ඔබ ම විනාශ කර ගන්නේ කුමට ද?
17අති දුෂ්ටයකු නො වන්න;
අඥානයකු ද නො වන්න;
කාලයට කලින් නැසී යන්නේ කුමට ද?
18ඔබ එකක් අල්ලා ගන්නවා නම් හොඳ ය;
අනෙක ද ගිලිහී යන්නට නො දෙන්න;
දෙවියන්වහන්සේට භය පක්ෂ ඇත්තා ඒ දෙකෙන් ම ඉවත් වන්නේ ය.
19ප්‍රඥාව විසින් එක් ප්‍රඥාවන්තයකු
පුරවරයක පාලකයින් දස දෙනකුට වඩා බලවත් කෙරේ.
20හරි දේ ම කරන, කොහෙත් ම පව් නො කරන,
ධර්මිෂ්ඨ කෙනකු මිහි පිට කොතැනකවත් නැත.
21ජනයා පවසන හැම වචනයක් ම සැලකිල්ලට නො ගන්න;
නැතහොත් ඔබේ මෙහෙකරු ඔබට ශාප කරනු ඔබට ඇසෙනු ඇත.
22මන්ද බොහෝ අවස්ථාවලදී ඔබත් අන්‍යයනට ශාප කර ඇති වග
ඔබේ හදවතින් ම ඔබ දනී.
23මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර,
“මම ප්‍රඥාවන්ත වන්නෙමි” යි පැවසීමි;
එහෙත් එය මගෙන් බොහෝ ඈත ය.
24පැවත තිබුණු දේ ඉතා දුරස්ථ ය; ගැඹුරු ය, ඉතා ගැඹුරු ය.
එය සොයාගත හැක්කේ කවරකුට ද?
25එබැවින් මම ප්‍රඥාව හා හේතු-ඵල විභාග කර,
නිරීක්ෂණ කර, වටහා ගැනීමට ද
දුෂ්ටත්වයේ මෝඩකම හා අඥානකමෙහි උමතුව
වටහා ගැනීමට ද මගේ සිත හැරවීමි.
26එවිට මරණයටත් වඩා අමිහිරි දෙයක් දැක්කෙමි;
ඒ තමා ම උගුලක් වූ
තම හදවත දැලක් ද
තම අත් යදම් ද වූ ස්ත්‍රිය ය.
දෙවියන්වහන්සේ ප්‍රසන්න කරන මිනිසා ඇගෙන් බේරී යන්නේ ය.
එහෙත් පව්කරුවා ඇගේ අත්අඩංගුවට පත් වන්නේ ය.
27“මෙන්න! මම සොයා දැනගත් දේ” යි දේශනාකරු පවසන්නේ ය:
“හේතු-ඵල විභාග කර දැනගන්නට එකක් එකක් පාසා–
28මම තවමත් විමසන නමුදු,
මට දැනගන්නට නො ලැබුණු දේ මෙන්න–
දහසක් දෙනා අතර එක් මිනිසෙක් මට හමු විය;
එහෙත් ඒ හැම අතර එකදු ස්ත්‍රියකවත් නො විණ.
29මෙන්න මා දැනගත් එක ම දේ:
දෙවියන්වහන්සේ ඍජු ගුණයෙන් මිනිසා මැවූ සේක,
එහෙත් මිනිසා නොයෙකුත් කූටෝපායයන් සොයා ගොස් ඇත්තේ ය.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in