YouVersion Logo
Search Icon

ද්විතීය 19:15-21

ද්විතීය 19:15-21 SCV

යමකු විසින් කරන ලද යම් අපරාධයකට හෝ වරදකට හෝ ඔහු වරදකරුවකු කොට තීන්දු කරන්නට, එක් සාක්ෂිකරුවකු ප්‍රමාණවත් නැත. යම් කරුණක් ස්ථිර විය යුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂියෙනි. යම් අපරාධයක් සම්බන්ධ ව මිනිසකුට දෝෂාරෝපණ කරන්නට ද්වේෂ සහගත සාක්ෂිකරුවකු ඉදිරිපත් වුවහොත්, අදාළ ආරවුලට සම්බන්ධ දෙපාර්ශ්වය ම, එකලට නිලලත් පූජකයින් හා විනිසුරුවන් ඉදිරියෙහි ස්වාමින්වහන්සේ අබියස සිටගත යුතු ය. විනිසුරුවන් පූර්ණ විභාගයක් පවත්වා, එම සාක්ෂිකරුවා ඔහුගේ සහෝදරයාට විරුද්ධ ව බොරු සාක්ෂි දුන් බොරුකරුවකු වග ඔප්පු වුවහොත්, එම සාක්ෂිකරු තම සහෝදරයාට පමුණු වන්නට අදහස් කළ දඬුවම, සාක්ෂිකරුට පමුණුවන්න. ඔබ අතරෙහි වන දුෂ්ටකම එසේ පහ කර දැමිය යුතු ය. සෙසු ජනයා ඒ අසා, භය වී, එවැනි දුෂ්ටකමක් යළි කිසි දිනෙක ඔබ අතරෙහි නො කරනු ඇත. එබැවින් කිසි අනුකම්පාවක් නො පාන්න. ජීවිතයකට ජීවිතයකි. ඇසකට ඇසකි. දතකට දතකි. අතකට අතකි. පයකට පයකි.

Free Reading Plans and Devotionals related to ද්විතීය 19:15-21